තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාතාලයේ පූකුඩිකන්නා ඉන්දියාවේදී අත්අඩංගුවට

    පාතාලයේ පූකුඩිකන්නා ඉන්දියාවේදී අත්අඩංගුවට

    ඉන්දියාවේ සිට මෙරට පාතාල අපරාධවල නිරවෙමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ලද බාලචන්ද්‍රන් පුෂ්පරාජා නොහොත් පූකුඩිකන්නා නැමැති පාතාලයේ ප්‍රබලයා ඇතුළු තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    දිව කිහිපයකට පෙර පූකුඩිකන්නා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අංගමාලි හීදීය. ඔවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිරිසක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත. එම මාධ්‍ය වාර්තාවල සදහන්ව ඇති ආකාරයට ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසිනි.

    මේ අය තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අපරාධ රැසකටද සම්බන්ධබව ඉන්දියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි. අත්අඩංගුවට ගන්නා විට ඔවුන් ඉන්දියානුවන් ලෙස එරට හැදුණුම්පත් ව්‍යාජ ලෙස සකසාගෙන පෙනී සිට ඇතැයිද සදහන්ය.

    පූකුඩිකන්නා නැමැති අපරාධකරු මෝදර පදිංචිකරුවෙකි. කිලෝ සිය ගණන් මත්කුඩු මෙරටට ගෙන එමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඔහු කලක සිට රැදී සිටියේ ඉන්දියාවේය. කොළඹ සහ ඒ අවට සිදුවූ මිනිස් ඝාතන රැසකටම ඔහු පොලීසියට අවශ්‍යව සිටියෙකි. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හොර රහසේ මෙරටට පැමිණ අපරාධවල නිරතව අනතුරුව නැවතත් බෝට්ටු මගින්ම ඉන්දියාවට පළායන බවට තොරතුරු මෙරට බුද්ධි අංශවලට ලැබී තිබුණි.

    පකිස්තානයේ සිට මෙරටට රැගෙන එමින් තිබියදී හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොග සමග ශ්‍රී ලංකිකයින් රැගත් බහුදින යාත්‍රා කිහිපයක් පසුගිය කාලයේ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකික මත්කුඩු ජාවාරම්කරුවන් කරන මත්කුඩු ජාලයක තොරතුරු හෙළිවී තිබුණි. පකිස්තානයේ ජාවාරම්කරුවන් සමග සමීපව සම්බන්ධකම් පවත්වන ඔවුන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් බව හදුනා ගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලංකික මත්කුඩු ජාවාරම් කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් තමිල්නාඩු ආරක්ෂක අංශ දියත් කළේය. කිඹුලා ඇල ගුණා, කෙනඩි, සුරේෂ් , කොටගාමිණි වැනි මත්ක්ඩු ජාවාරමේ ඉහළින්ම නම කියැවෙන අපරාධකරුවන් මෙන්ම පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තැබීමේ කුමන්ත්‍රණයට සම්බන්ධව සිටි නවාස් ඇතුළු අපරාධකරුවන් රැසක්ම ඉන්දියානු ආරක්ෂක අංශ මේ වන අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. පූකුඩිකන්නා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේද එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස බව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරුවල සදහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img