ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස හා ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, නීතීඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙසේ නිශ්ප්‍රභ කෙරිණි.
ජාතික වැදගත්කම සලකා පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කළේ ඉකුත් මැයි 14 වැනිදාය.
පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් ,ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටියහ.
ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම මෙම පෙත්සම්වලින් දක්වා තිබිණි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , මහාචාර්ය සුදන්ත ලියනගේ , සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
මෙම පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා තුනක් ගොනු කළ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත් පෙන්වා දුන්නේය.