එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ජෛව බුබුළ සීමා හා විනය නීති උල්ලංගනය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණි පසුව නිරෝධායනයට යොමු කර තිබේ.
ඔවුන් දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීම සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.
ඔවුන් දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කර තිබුණි.