තවත්
    මුල් පිටුවCOVIDහෙට ඉඳන් නිවසින් පිටතට යන ඔබ භයානක ඩෙල්ටා ප්‍රභේදයත් ගෙදර ගේනවාද?

    හෙට ඉඳන් නිවසින් පිටතට යන ඔබ භයානක ඩෙල්ටා ප්‍රභේදයත් ගෙදර ගේනවාද?

    හෙට(21) සිට දිවයිනේ සංචරණ සීමා ලිහිල් කළත් පසුගියදා දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන් හමුවූ සීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයෙන් මෙරට තුළ අධි වසංගතයක් ඇති නොකිරීමට ජනතාවට ගත හැකි සෑම පියවරක්ම ගැනීම අනිවාර්ය කරුණක් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

    එබැවින් එය මගහැරීිම මෙන්ම ඒ පිළිබද දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පහත කරුණු ඉදිරිපත් කර තිබේ.

    “පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

    අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

    1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
    2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
    3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
      එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

    ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

    යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

    1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
    2. දෑත් පිරිසිදුව තබා ගැනීම
    3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම මේ අතරින් ඉතා වැදගත් වනවා

    ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.
    ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.
    සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.


    ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන්?

    ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය පසුගියදා ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වීමත් සමග මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.

    (https://www.gavi.org/…/five-things-we-know-about-delta…)

    මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

    ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

    Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.
    මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

    කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.
    මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

    අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.
    මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

    පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.

    මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img