කොවිඩ් එන්නත්කරණය සඳහා දෙවන මාත්‍රාව වෙනුවෙන් ඇස්ට්‍රාසෙනෙකා වෙතින් එන්නත් තොග අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට COVID-19 එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අපොහොසත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
“මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ දෙවන මාත්‍රාව එන්නත් කිරීම අත්හිටුවීමට සිදුවී තිබෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානාත්මක වෙනස්කම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වෝඩ් පැවසීය.
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් COVAX පහසුකම වැඩසටහන හරහා බෙදා හරින ලදී. ශ්‍රී ලංකාවට ලද මුල්ම තොගය වූ කොවිෂීල්ඩ් එන්නත් තොගය ද කොවැක්ස් පහසුකම යටතේ ලැබුණකි.
ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදදනය කෙරුණු අතර එහි දෙවන මාත්‍රාව වෙනුවෙන් තොග අපේක්ෂා කළ බොහෝ රටවලට, 2021 අපේ‍්‍රල් මාසයේ දී ඉන්දියාවේ කොවිඩ් ව්‍යසනය ඉහළ ගොස් ඇති බැවින් නිෂ්පාදකයාගේ සැපයුම් දැවැන්ත ලෙස අඩුවී තිබීම නිසා මෙම තත්ත්වය මතූව තිබේ.
අයිල්වෝඩ් පැවසුවේ අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන නේපාලය හෝ ශ්‍රී ලංකාව වැනි රටවල් ඊට බලපා ඇති බවයි.
මෙම රටවල් බොහොමයක් ‘ඔවුන් සතුව ඇති එන්නත් තොගවල අවසානයේ ඉන්නේ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කැතරින් ඕ බ්‍රයන් පැවසීය.
‘දුර්වල’ එන්නත් කිරීමේ වැඩසටහන් ඇති රටවල්, අත්හිටවූ සැපයුම් නිසා තවදුරටත් පීඩා විඳින බවයි. එය ජනගහනය අතර විශ්වාසය නැති වන තත්වයක් බව ද ඇය පැවසුවාය.