මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන ද්විත්ව ඝාතන නඩුවකට පෙනි සිටීමට පැමිණි දෙදෙනෙකු ඝාතනයකරමින් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව යුධ හමුදාවේ සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙකු මන්නාරම පොලිසිය පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු වූ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සේවයේ නිරතව සිටි කෝප්‍රල්වරයාට මන්නාරම උසාවිය අසලදී ඉලක්කගත පුද්ගලයන් පෙන්වා දී ඇත්තේ මෙම සෙබලා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
වෙඩික්කරු යතුරුපැදියක නැගී මන්නාරම අධිකරණය ආසන්නයේ රැදී සිටියදී වෙඩි මන්නාරම අධිකරණය වෙත පැමිණෙනමින් සිටි ඝාතනය වූ පුද්ගලයන් දෙදෙනා අතර සිටින ජූඩ් නැමැත්තා අසලට ගොස් අතට අත දී ඇති බවත් එසේ අතට අත දී ඇත්තේ වෙඩික්කරුට ඉලක්කය හදුන්වාදීමක් බවක් බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඒ වෙනුවෙන් මෙම සෙබලාට රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාදීමත් වැලිමඩ පිහිටි නිවස ඉදිකර දීමටත් මෙම ද්විත්ව ඝාතනයේ කොන්ත්‍රාත්කරු වන ජේසු දාසන් නැමැති මත්කුඩු ජාවාරම්කරු පොරොන්දු වී ඇතැයිද විමර්ශන වලින් හෙළිවී තිබේ. විටෙන් විට මෙම සෙබලා රුපියල් ලක්ෂ තුන හතරක මුදලක්ද මෙම මත්කුඩු ජාවාරම්කරුගෙන් ලබාගෙන ඇති බවද හෙළිවී ඇත
මන්නාරම අධිකරණය අසල දී පසුගිය 16 වෙනිදා වෙඩි තැබීම සිදුවිය. වෙඩික්කරු සහ වෙඩික්කරු ඊට සම්බන්ධකර දුන් ආබාධිත විශ්‍රාමික හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගත්තේය. එහිදී හෙළිවන්නේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව ඔවුන් දෙදෙනා ඊට සම්බන්ධ වී ඇති බවය.
මෙම මත්කුඩු ජාවාරම්කරුගේම රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට අනුව විශ්‍රාමික ආබාධිත ලාන්ස් කෝප්‍රල්වරයා 2023 වසරේදී මන්නාරමේදී ද්විත්ව ඝාතනයක් සිදුකර ඇති බවද මෙම විමර්ශනයේදී හෙළිවී තිබුණි. ඒ සම්බන්ධයෙන්ද කැලණියේ පදිංචි සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
වෙඩික්කරුට ඉලක්කය හදුන්වාදීමට සම්බන්ධ වූ සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලා වයස අවුරුදු 36ක් වන මන්නාරමේ සේවයේ නිරතව සිටින්නෙක් බව පොලිසිය කියයි.