තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හලාවත රෝහල් මෝචරියෙන් මළ සිරුරක් අතුරුදන්

    හලාවත රෝහල් මෝචරියෙන් මළ සිරුරක් අතුරුදන්

    හොරණ හික්ගහකන්දේ කුඩා උඩුවේ පදිංචිකරුවෙක් වන රුවන් සම්පත් මුන්දලමට එන්නේ ඔහුට අයත් ඉඩමක් විකුණාදමන්නට සූදානමිනි. ඒ පැමිණි ඔහු සංචරණ සීමා නිසා මුන්දලමේ කොටුවිය.

    රුවන්ගේ ඥාතීන් බොහෝ දෙනෙක් සිටින්නේද මුන්දලමේය. ඒ නිසා රුවන්ට නවාතැන් මෙන්ම කෑමෙන් බීමෙන්ද අඩුවක් නොවීය.

    ඉකුත් 30 වෙනිදා රුවන් අඩියක් ගසන්නට ඥාති සහෝදරයෙක් සමග යතුරු පැදියක නැගී යන්නේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමේ කෙලවරක ඇති හොර අරක්කු තිප්පොලකටය. හොදහැටි සප්පායම් වූ ඔවුන් දෙදෙනා යතුරු පැදියේ එන්නේ වැනි වැනීය. රුවන් සිටින්නේ පසුපස අසුනේය. ඥාති සහෝදරයා යතුරු පැදිය පදවන්නට විය. බීමත් කම නිසාම දෙදෙනාටම පනක් කටක් නොවීය. යතුරු පැදියෙන් රුවන් බිමට ඇද වැටෙන්නේ මාර්ගයේ හිස වැදී දරුණු ලෙස තුවාල සිදුවෙමිනි.

    ප්‍රතිකාර සදහා රුවන්ව ඇතුලත් කරන්නේ මුන්දලම රෝහලටය. ඒත් එක්කම පොලීසිය මේ අනතුර සම්බන්ධයෙන් රුවන්ගේ ඥාති පුතාවද අත්අඩංගුවට ගත්තේය. ඒ බීමත්ව යතුරුපැදියක් ධාවනය කර අනතුරක් කිරීම සම්බන්ධයෙනි.

    රුවන්ගේ තත්වය එතරම් යහපත් එකක් නොවීය. ඒ නිසාම මුන්දලම රෝහල් බලධාරීන් තීරණය කරන්නේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව හලාවත රෝහලට මාරුකරන්නටය. ඒ අනුව 31 වෙනිදා හලාවත රෝහලට රැගෙන ගිය රුවන් පැය කිහිපයකට වඩා එහි ප්‍රතිකාර ලැබුවේ නැත. සිය දෙනෙත් සදහටම පියා ගත්තේය.

    රුවන්ගේ මරණය හොරණ සිටින ඥාතීන්ට දැනගන්නට ලැබෙන්නේ 01 වෙනිදාය. ඒ අය හොරණ සිට මළ සිරුර රැගෙන යාමට හලාවත රෝහලට එන්නේ අද (03) ය. එහෙත් හලාවත රෝහල් මෘත ශාරීරාගාරයේ රුවන්ගේ මළ සිරුර නොවීය. මෝචරිය පිරී තිබුණු මළ සිරුරු එකිනෙක නැවත නැවත පෙන්වමින් රුවන්ගේ මළ සිරුර හදුනා ගන්නට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි උත්සහයක් ගත්තද එහෙත් රුවන්ගේ මළ සිරුර එහි නොවීය.

    මේ තත්වය මත රෝහල් කාර්ය මණ්ඩලය තීරණය කරන්නේ 31 වෙනිදායින් පසු රෝහල් මෘත ශාරීරාගාරයෙන් මුදා හරින ලද මළ සිරුරු පරීක්ෂාකරන්නටය. එහෙත් ඒ වන විටත් බොහෝ මළ සිරුරු භූමදානය සහ ආදාහනය කර තිබුණේ පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතු බවට වූ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුවය. මහවැව සහ නාත්තන්ඩියේ වලදැමූ සහ ආදාහනය කළ මළ සිරුරු කිහිපයකට හිමිකම් කී ඥාතීන් කිහිප දෙනෙක්ද හලාවත රෝහල් මෘත ශරීරාගාරයට ගෙන්වා නැවතත් ඒ මළ සිරුරු පරීක්ෂාකර සැකහැර ගන්නටද රෝහල් කාර්ය මණ්ඩලය උත්සුක විය. එහෙත් ඒ තුළින්ද රුවන්ගේ මළ සිරුරට වූයේ කුමක්දැයි සොයා ගන්නට නොවීය. මේ අතර ඊයේ (02) හලාවත රෝහලින් රැගෙන ගිය බංගදෙණිය පෙරියකරුප්පනේ මළ සිරුරක්ද පරීක්ෂා කිරීමට අද සවස් වන විට රෝහල් කාර්ය මණ්ඩලය එහි ගියේය. ඒ යන විට අවසන් කටයුතු කර අවසන්ය. දැන් කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නට රෝහල් කාර්ය මණ්ඩලයට නොවීය. එහෙත් එම මළ ගෙදර සිටි මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිප දෙනෙක් බොහෝ අමාරුවෙන් කැමතිකරවාගෙන හලාවත රෝහල් මෘත ශාරීරාගාරයට රැගෙන ගියේය. ඒ අයට මෘත ශරීරාගාරයේ ඇති මළ සිරුරු එකිනෙක පෙන්වමින් ඒවා හදුනා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි උත්සහයක් ගත්තේය.

    “යකෝ අපි වලදාපු මාකස් අයියගේ බොඩි එක මේ තියෙන්නේ“ ඒ එක් අයෙක් මළ සිරුරක් අසල නැවතී කෑ ගසන්නට ගත්තේය. බැලින්නම් ඊයේ රොහල් මෘත ශරීරාගාරයෙන් රැගෙන ගොස් බංගදෙනියේ දී අද වලදමා ඇත්තේ රුවන් සම්පත්ගේ මළ සිරුරය. ඒ මාකස් ඇන්තනී නැමැත්තෙකුගේ මළ සිරුරක් යැයි සිතාය. එම මළ සිරුර පවා රැගෙන යන්නේ මාකස්ගේ ඥාතීන් විසින් ඒ මාකස් යැයිම හදුනා ගැනීමෙන් අනතුරුවය. මල් ශාලාවට රැගෙන ගොස් ඉස්තරම්ම මිනී පෙට්ටියක බහා එම මළ සිරුර ඊයේ රාත්‍රීෙය් සිට අද දහවල් අවසන් කටයුුතු කරන තුරු ගමේ අය මෙන්ම පවුලේ ඥාතීන්ද මළ සිරුරට අවසන් ගෞරවය දැක්වූයේය. එහෙත් ඒ මාකස් නොවන බව කිසිවෙකුත් හදුනා ගත්තේ නම් නැත. අඩුම තරමින් මාකස්ගේ මුහුණ කට පවා වෙනස් වී ඇති බවක් කීවේද නැත. පවුලේ ඥාතීන් ඔහුගේ සිරුර වලදමන්නේද හඩා දොඩා වැලපෙමිනි. බැලින්නම් සියළු ගෞරව බුහුමන් දක්වා ඇත්තේ අනුන්ගේ මළ සිරුරකටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img