ජනාධිපතිවරණ උණුසුම මැද ඉකුත් සති කිහිපය පුරාවටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙසට මෙරට සියලුම දෙනාගේ දැඩි අවධානය යෙමුව තිබුණි.
ඒ එම පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේද, නැතහොත් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නෙද යන පැනයට පිලිතුරු ලබාගැනීමටය.
(පොහොට්ටුවේ විධායක සභාව)
කරැණු මෙසේ පෙළගැසෙද්දී
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව පසුගිය (29) සවස රැස්වූයේ හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධානත්වයෙනි.
ඒ විජේරාමයේ පිහිටි ඔහුගේ නිල නිවසේදීය. මෙම විධායක කමිටුව සමාජිකයන් 82 කින් සමන්විතය.
මෙම විධායක කමිටුව මීට මාස දෙකකට පමණ පෙර පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කර අලුතින් පත් කෙරුණකි.
පක්ෂයේ නායකයා ලෙස මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනෙකු නම් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්දය.
එම මන්ත්‍රිවරුන් වූයේ එස්.බී. දිසානායක, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. ජානක, තේනුක විදානගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උඳුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, ජනක වක්කුඹුර, කනක හේරත්, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුය.
පක්ෂයේ ලේකම් සාගර කරියවසම් , රෝහිත අබේගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරු මෙම දේශපාලන කමුටුව නියෝජනය කළේ නිල බලයෙනි.
(විධායක සභාවට ආ අමුත්තෝ)
මෙම විධායක කමිටුව සඳහා ඉතිරි සියළුදෙනා පත් කර තිබුනේ පක්ෂයේ අනුබද්ධ සංවිධාන වලින් බව කියමිනි. ඒ අතර නීතිඥවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් වූහ.
එබැවින් රැස්වීමට ගිය මන්ත්‍රීවරු තුෂ්නිම්භූත වූයේ මේ රැස්වීම සඳහා පැමිණි ඇතැම් අය අඩුම තරමින් නෙළුම් මාවත කාර්‍යාලයේදිවත් නොදැකපු අය වූ නිසාය.
ඒ අතරට දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයට ගිය නිතිඥ වරයෙකු , ගම්පහ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියකගේ දියණිය (ඇය ගිය වර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකි) හිටපු ඇමතිවරයෙකුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු මේ අතර සිටිනු දක්නට ලැබුණි.
(සාගරගේ යෝජනාව)
පක්ෂය වෙනම අපේක්ෂකයෙකු දැමිය යුතු බවට යෝජනාව ගෙන ආවේ සාගර කාරියවසම් පොහොට්ටුවේ ලේකම්වරයාය.
” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පක්ෂයේ සහාය ඉල්ලලා ලියුමක් එවලා තියනවා. ඒ ලියුම එවලා තියෙන්නේ නාම යෝජනා වලට ඇප මුදල් තැන්පත් කළාටත් පස්සේ” සිය යෝජනාව ඉදිරිපත් කරමින් සාගර කිවේය.
(බැසිල් නිසා රනිල් ලියූ ලියුම)
“ නෑ නෑ මමයි එතුමාට ඒ ලියුම එවන කීව්වේ. කොහොමත් එතුමා මුල ඉඳලම අපි එක්ක කථා කරමිනුයි හිටියේ”
ඒ මොහොතේ සාගරට බාධා කරමින් බැසිල් කීවේය.
අනතුරුව සාගරගේ යොජනාව ගැන දේශපාලන මණ්ඩලය අදහස් විමසුවේය.
(එස්.බී ගේ දෙපිට කාට්ටු කතාව)
මුලින්ම නැගී සිටියේ එස්.බී ය.
“ සාගර කාරියවසම් ලේකම්තුමා මම එකඟයි කරපු අපි යෝජනාවට මම සිය දහස් වාරයක් එකඟයි.” එස්.බී. කථාව පටන්ගත්තේ එලෙසය.
එය ඇසුනු විධායක කමිටු සාමාජිකයෝ අත්පොලසන් දුන්නේය. අත්පොලසන් නිමා වන තුරු මොහොතක් නිහඩව සිටි එස්.බී. මඳක් සභාව දෙස බලා
“ හැබැයි මම විශ්වාස කරනවා දිනනවනම් මේ වේලාවේ අපි රනිල් ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන රට වෙනුවෙන් . මොකද එතුමා තමයි අපේ පාක්ෂිකයෝ රැක්කේ” එස්.බී. කට කොනකින් සිනා සෙමිනි.
(ජොනීට මළ පනී)
එස්.බී. ගේ මේ කථාව ඇහුනු ජෝන්ස්ටන් නැගිට්ටේය.
“මොන පිස්සුවක් ද මේ . මන්ත්‍රීතුමා මෙතන කඩේ යන්න ලැස්ති වෙන්න එපා” ජොනී කීවේය.
(ජොනීට එරෙහිව ප්‍රසන්න හා මහින්දානන්ද)
ජොනීට එරෙහිව නැගිට්ටේ ප්‍රසන්න රණතුංග හා මහින්දානන්දය.
“ ඇයි මෙතන එතුමාට එතුමාගේ අදහස කියන්න බැරිද? ඔබතුමන්ලට පුළුවන්නම් අපිටත් අපේ අදහස් කියන්න පුවවන්” ප්‍රසන්න හා මහින්දානන්ද ජොනීගෙන් ගේම ඉල්ලුවේය.
“මෙතන කාගේවත් කට වහන්න හඳන්න එපා. අපි මේ පක්ෂයට ආදරෙයි. අපි අපේ පාක්ෂිකයන්ට ආදරෙයි. අපි මේ කථා කරන්නේ පාක්ෂිකයා වගේම රට ගැන හිතලයි” ප්‍රසන්න යළි කීවේය.
“ මෙතන කාටවත් කථා කරන්න එපා කියන්න කාටවත් අයිතියක් නෑ….” මහින්දානන්ද ද කීවේය.
කංචන , රමේෂ්, කෝකිලා, සනත් ඇතුළු පිරිස ද ජොනීට එරෙහිව අදහස් පල කරන්නට වීමත් සමග සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය.
එන පොට හරි නැති බව දුටු ජොනී නිහඩ වූයේය.
(රනිල්ට සහය දිය යුත්තේ ඇයි?)
අනතුරුව නැගී සිටි කංචන ඉතා තර්කාණූකූල ලෙස රනිල්ට සහාය දිය යුතුතේ ඇයි දැයි අදහස් පල කළේය.
ඒ අතරතුර වෘත්තීය සමිති නියෝජිතයන් කිප දෙනෙකුද අදහස් පල කළහ.
“ මේක මේ සෙටප් එක්ක යන්නේ . අපි කථා කරලා වැඩක් නෑ” මහින්දානන්ද ප්‍රසන්නගේ කණට කර කීවේය.
අදහස් විමසීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණී.
(ඔක්කොම අත් ඔසවයි)
“පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාට කැමති අය අත ඔසවන්න” යැයි මහලේකම්වරයා කී
විට සභාවේ කිසිවකු අත එසවූයේ නැත.
“මේ ඔක්කොම සපෝට් වගේනේ පේන්නේ. ඒ හින්දා යෝජනාවට පක්ෂ නැති අය අත උස්සන්න” සාගර කීවේය.
ඒ අනුව කංචන , මහින්දානන්ද , ප්‍රසන්න ඇතුළු 11 දෙනෙකු යෝජනාවට විරුද්ධව අත එසවූහ. රැස්වීමේ ඉදිරි පෙළ අසුනක සිටි ජනකට මේ අවස්ථාව මඟ හැරි තිබිණි.
ඔහු පසුව තමන් මෙම යෝජනාවට විරුද්ධ බව කී විට ඡන්දය විමසා අවසන් බැවින් එය පිළිගත නොහැකි බව සාගර කීවේය.
කෙසේවෙතත් මේ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව චමල් රාජපක්ෂ, එස්.බී.දිසානායක යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ නොකල බවද පැවසේ.
ඉන් පසු තවත් යෝජනාවක් සාගර ගෙන ආවේය. ඒ පොහොට්ටුව නම් කරන අපේක්ෂකයෙකුට වැඩ කළාත් අදාල පුද්ගලයාට එරෙහිව විනය පියවර ගත යුතු බවටය.
යෝජනාව හරියට ඇහුනේ නැති කංචන ඇතුළු 06 දනෙකු ඊට එරෙහි වූහ.
ඇමති ප්‍රසන්න හා කෝකිලා පිටුපස සිට කංචන ඇතුළු පිරිසට කීවේ ඕකට විරුද්ධ වෙන්න එපා කියාය. ඒ මොහොතේම කංචන හා පිරිස අත පහලට ගත්තත් ඒ වන විට සාගර එය නිවේදනය කර අවසන්ය.
මහින්දගේ නිවසේ පැවති රැස්වීමෙන් පසු පොහොට්ටුවේ දෙඹරයට ගල් ගැහුවාක් මෙන් විය.
(පළාත් පාලන මන්ත්‍රීවරුන් තීන්දුවක් ගන්න සැරසෙයි)
රට වටේම පලාත් පාලන හා පලාත් පාලන නියෝජිතයෝ ඇමති ප්‍රසන්නට කථා කරන්නට වූහ. ඔවුන් කීවේ පක්ෂයේ මතයට තමන් එකඟ නැති බවයි.
(තැන් දෙකක සාකච්ඡා දෙකක්)
රැස්වීමෙන් පසු ප්‍රසන්න ඇතුළු පිරිස කෙලින්ම ගියේ මල් පාරේ රනිල්ගේ නිවසටය. එස්.බී. දිසානායක , මහින්දානන්ද, ප්‍රසන්න, කංචන, රමේෂ්, කෝකිලා, සහන් ඇතුළු මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු ඒ අතර වූහ.
ඔවුන් ජනාධිපතිවරයා සමග ඉදිරි පියවර සාකච්ඡා කරන අතරතුර කොළඹ මල් පාරේ පැවති රනිල්ගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලසුම් කාර්යාලය පොහොට්ටු මැති අමතිවරුන්ගෙන් පිරි යමින් තිබිණ. 50 – 60 කට ආසන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
ජනපති හමුවෙන් පසු මල් පාරට පැමිණි ප්‍රසන්න , මහින්දානන්ද , කාංචන ඇතුළු පිරිස ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන්ගේ ලේඛණය ගෙන්වා ගත්හ.
(කැබිනට් මණ්ඩලයට ඉන්න පොහොට්ටුවෝ)
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ පොහොට්ටු ඇමතිවරුන් ඉන්නේ 07 ක් කථා බහට ලක් විය.
ඒ ප්‍රසන්න රණතුංග,කංචන විජේසේකර,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය බන්දුල ගුණවර්ධන,ජනාධිපති නීතීඥ අලී සබිරි,පවිත්‍රා වන්නිආරච්චි, විදුර වික්‍රමනායකය.
(පවිත්‍රා මගහරී)
පව්ත්‍රා ඇමතිවරිය මල්පාරේ තිබු සාකච්චාවට සහභාගී වූයේ නැත ඇය සමග සාකච්ඡා කිරිමට එහිදී තීරනය කෙරිනි.
පොහොට්ටුව නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරු 28 දෙනෙකු වෙති .
ඉන් තේනුක, ඉන්දික , ශෂේන්ද්‍ර, ප්‍රසන්න රණවීර හැර අනෙකු සියළු දෙනා රනිල්ට සහය පල කරන බව මෙහිදී අනාවරණය විය.
ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හැරැණු විට පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 54 .
දැනටමත් ඉන් මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ස්ථිර ලෙසම රනිල්ට සහය පල කරන ස්ථාවරයක සිටින බව මෙහිදී හෙළි විය.
තවත් 15 දෙනෙකුගේ සහය නොලැබෙන බවද වාර්තාවේ.
(දිගටම සාකච්ඡා)
ඒ අනුව මෙහිදී තීරණය කෙරැණේ ඉතිරි මන්ත්‍රිවරුන් සමග සාකාච්ඡා කිරීමටය.
“ අපි ජනාධිපතිතුමාට සහය පල කරනවා . හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නේ සමහරු මතයක් හදනවා අපි මේ එ.ජා.ප යට යන්න හදනවා කියලා. ඒක නිවැරදි වෙන්න ඕන ” එසේ කීවේ රාජ්‍ය අමාත්‍ය මෝහාන්ද සිල්වාය.
ඇමති රමේෂ් ද එය අනුමත කළේය.
“ ගාල්ලේ රැස්වීම නිසා මටත් ඒ වගේ ප්‍රශ්ණයක් ආවා. අපේ අන්‍යතාවය රැකෙන විදිහට සන්ධානයක් හැදෙනන් ඕන. එතකොට ප්‍රශ්ණයක් නෑ.” ඔහු කිවේය.
(යෝජිත සංධානයේ නායකත්වය කාටද?)
මේ කතා බහ අතරතුර ජනාධිපති රනිල් ද එතනට ආවේය.
“සර් අපිට ප්‍රශ්ණයක් තියෙනවා.”
මහින්දානන්ද මොහාන් දෙස බලමින් කීවේය .
රාජ්‍ය ඇමති මොහාන් ද නැවත සිය ප්‍රශ්ණය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.
“ ප්‍රශ්ණයක් නෑ මම ඉල්ලන්නේ ස්වාධීනව නේ. මට අනුශාසක ලෙස ඉන්න පුළුවන් මේ සංධානය තුල “ රනිල් කිවේය.
“ නෑ.. නෑ.. සර් නායකයා ලෙසයි ඉන්න ඕන” ඇමති ප්‍රසන්න යෝජනා කළේය
“ නෑ.. නෑ.. අපි අගමැතිතුමාව මූලික කරගමු” ජනපති රනිල් යෝජනා කළේය.
(පොහොට්ටුව කැඩුවේ මමද? නාමල්ද? ජනපති පහදයි)
“ සමහරු කියනවා මම පොහොට්ටුව කැඩුවා කියලා. මේ කිසිම ඇමතිවරයෙක්ව මම පත්කළේ නෑ.
ගෝඨාභය ජනාධිපතිතුමා පත්කරපු අයට වගකීම් දුන්නා. මේ අළුත් තරුණ ඇමතිවරු වැඩ කරගෙන යනවා හොදට . ඒ නිසා මම නාමල්ටත් ඇවිත් වගකීමක් ගන්න කිව්වා. ඒත් නාමල් ඒකට කැමති නෑ කියලා මහින්ද කිව්වා” රන්ල් පැහැදිලි කලේය.
(අලි කාර්යාල ගැනත් තීරණයක් ගනී)
“ සමහර තැන්වල අලියා දාලා කාර්යාල ගහන් ඉන්නවා . ඒකත් ප්‍රශ්ණයක් “ රාජ්‍ය ඇමති ප්‍රමිත කීවේය.
“ඒව ගැන අපි තීරණයක් ගන්නවා” ජනාධිපතිවරයා කීය.
ජනපති රනිල් පොහොට්ටුව හා පැවති සාකච්ඡා ගැනද කතා කලේය.
“ මෙතන දි පොහොට්ටුවට ලැබෙන කෝටා එක ගැන කථා වුණා. මම එතනදි යෝඡනා කළා පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඒ කෝටා එක දෙන්න. අපේ 03දෙනෙක් ඉන්නවා. අනෙක් දිස්ත්‍රික්ක වල කෝටා එක ගැන කතා කරලා විසදුමක් ගන්න පුළුවන් කියලයි මම කිව්වේ” රනිල් පැහැදිලි කළේය.
” ජනාධිපතිතුමයි, බැසිල් ඇමතිතුමායි,චමල් ඇමතිතුමයි හිටියේ ඔබතුමාට සහය දෙන්න ඕන කියන තැන. ඒ තීරණය වෙනස් වෙච්චි එක ගැන මට පුදුමයි” ඇමතිවරයකු කීය.
“නෑ.. මේක තනිකරම නාමල් මන්ත්‍රීතුමාගේ වුවමණාවට වෙච්චි දෙයක්” තවත් අයකු කීය.
(පොහොට්ටු විධායක සභාව ව්‍යාජලු)
“මේක ව්‍යාජ දේශපාලන මණ්ඩලයක්.අපි ජීවිතේට දැකපු නැති අය හිටියා.මේ තීරණය පිළිගන්න බෑ” ඔව්හු පැවසූහ.
“ ජනාධිපතිතුමනි අපි එහෙනම් හෙට ම මනත්‍රීවරු ඔක්කොම කැදවමු” කංචන යෝජනා කළේය.
(සජිත් – නාමල් සාකච්ඡා)
මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ මහත්වරුන් නාරාහේන්පිට,චිත්‍රා පටුමගේ පිහිටි ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකුගේ නිවසේදී ඉකුත් සතියේදී හමුවී සාකච්ඡා කර ඇති බවයි.
මේවනවිට සිරගතව සිටින මාධ්‍ය ආයතන හමිකරුවාගේ සිය සහෝදරයා බේරාගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරී ඇති බවද පැවසේ.
(පොහොට්ටුවෙන් අපේක්ෂකයකු දැම්මේ ඇයි?)
එහිදී මාධ්‍ය ආයතන හිමිකරැ පවසා ඇත්තේ තම සහෝදරයා නිදහස්කර දෙන්නම් තමන් නාමල්ට හා සජිත්ට සහය දැක්වීමට සූදානම් බවයි.
එහිදී ඇතිවූ එකඟතාවය මත පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.
(සජිත් දිනුවොත් විපක්ෂනායකකම කාටද?)
පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරයා පරාජයට පත්කළහොත් විපක්ෂනායකවරයා බලයට පත්වනු ඇති බවත් එහිදී සාකච්ඡා වී ඇතැයි පැවසේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජයගත හොත් සිරගතව සිටින මාධ්‍ය හිමිකරුගේ සහෝදරයා නිදහස ලැබෙන අතරම මන්ත්‍රී නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයද හිමිවන බවද ඔවුහු සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් මෙය හෙළිවීමත් සමඟම පොහොට්ටුවෙ අභ්‍යන්තරයේ දැඩි කැළඹීමක් ඇතිව ඇතැයිද වාර්තාවේ.
(පවිත්‍රා වැට උඩ)
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි බ්‍රහස්පතින්දා රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ග්‍රාමීය නායකයන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවූයේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා බහ කරන්නටය. පොහොට්ටුවෙ බහුතරය ජනාධිපති රනිල් සමඟ එක්වුවද ඇමතිනිය තවමත් සිටින්නේ වැට උඩය.
මේ හමුවට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් පාලන නියෝජිතයන් 78 දෙනෙකු සහභාගී විය.
එහිදී ඔවුහු එක හඬින් ඉල්ලා සිටියේ පොහොට්ටුව එකතු කිරීමට නායකත්වය ගන්නා ලෙසය.
එමෙන්ම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළකළයුතු බව කී ඔවුහු පක්ෂය කුමන තීරණයක් ගත්තද තමන් ජනාධිපතිවරයාට සහය පලකරන බව එක හඬින් කීය.
(ඡන්ද විමසීම)
” එහෙම බෑ අපි මේ ගැන ඡන්ද විමසීමක් කරමු” කී ඇමතිනිය ජනාධිපතිවරයාට සහය දිය යුතුද,එසේත් නැත්නම් පක්ෂයේ අපේක්ෂකයාට සහය දිය යුතුද යන්න කොළයක සටහන් කරන ලෙස කීවාය.
ඒ අනුව තම මනාපය කොළයක සටහන් කළේය.
(ප්‍රථිඵල බෑගයට – පවිත්‍රා කොළඹට)
අවසන් ප්‍රථිඵල දුටු පවිත්‍රා වන්නිආරච්චි පමණක් නොව ඇයගේ සැමියාද තුෂ්නිම්භූත විය.
“මේ ප්‍රථිඵල මෙතන කියන්න බෑ. මම මේක පක්ෂ නායකයන්ට දෙන්නම්” කී පවිත්‍රා ඡන්ද ප්‍රථිඵල තම හෑන්ඩ් බෑගයේ ලා කොළඹ ඒමට කඩිනමින් පිටත්විය.