තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුද්දෙට ගිය හිටපු සෙබළුන්ගෙ ගැටලු විසඳන්න රුසියා-ලංකා ඒකාබද්ධ කමිටුවක්

    යුද්දෙට ගිය හිටපු සෙබළුන්ගෙ ගැටලු විසඳන්න රුසියා-ලංකා ඒකාබද්ධ කමිටුවක්

    ක්‍රියාන්විතයෙ දි මියගිය ශ්‍රී ලාංකිකයන් ගණන 17ක්

    කොන්ත්‍රාක් පදනමෙන් රුසියාවේ ක්‍රියාන්විතයට එක්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා-රුසියානු ඒකාබද්ධ කමිටුවක් යෝජනා කිරීමට මෙරටින් මොස්කව් බලා ගිය ඉහළ පෙළේ දූත පිරිස යෝජනා කර ඇත.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2024 ජුනි 26 සිට 27 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක නිරත වූහ.

    මෙම සංචාරයේ දී රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Andrey Rudenko සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඒ.වී. ෆොමින් හමුවී සාකච්ඡා පැවැත් වූ බව මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

    මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු වූයේ රුසියානු සන්නද්ධ හමුදාවන්හි කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් බව එහි සඳහන් වේ.

    මේ දක්වා වූ ක්‍රියාන්විතයේ දී ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූවන් සඳහා වන්දි ලබා ගැනීම, සම්බන්ධ කරගත නොහැකි ශ්‍රී ලාංකිකයන්ගේ දුක්ඛිත තත්ත්වය සොයා බැලීම, ස්වෙච්ඡාවෙන් ආපසු පැමිණීමේ හැකියාව, කොන්ත්‍රාත්තු කඩිනමින් අවසන් කිරීම සහ වේතනය විධිමත් කිරීම යන කරුණු මත කේන්ද්‍රගත කරමින් සාකච්ඡා පැවැත්වුණ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

    මෙම හමුවේ දී, ශ්‍රී ලාංකිකයින්ගේ ගැටළු සහ ගැටළු විසඳීම සඳහා නිතිපතා හමුවීමට දෙපාර්ශවයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇත.

    අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යාමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

    රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා භාර තානාපති පී.එම්.අම්සා, අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහත්වරු සහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරි පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img