fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් වෙලාවේ ගුරුවරු නොහිටියොත් ජනපතිගෙන් දැඩි තීරණයක්

    පාසල් වෙලාවේ ගුරුවරු නොහිටියොත් ජනපතිගෙන් දැඩි තීරණයක්

    රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවර්යයෙන්ම පාසල් තුළ රැදී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    ඔහු මේ බව කියාසිටියේ අද (27) අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී ය.

    ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේ දී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

    මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.

    එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.

    එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    “ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදි බව කිවයුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා. ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් 10000ක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට මේ වන විට ලැබී තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.

    මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා. සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.” යැයි ද ජනාධිපතිවරයා‍ මෙහිදී පවසා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.