ඉදිරි සතිය වනවිට හෝ ඉන් පසුව, අප රටක් ලෙස බංකොලොත්භාවයෙන් මිදී ඊළඟ අදියර කරා ගමන්කිරීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 20වනදා කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
“අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැත් වු සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් කර තිබෙනවා. එළැඹෙන සතියේ අපගේ නිල ණය හිමියන්ගේ කමිටුව රැස්වන අතර අපට ණය දුන් රටවල්, පැරිස් සමාජය, ඉන්දියාවේ නියෝජිතයන් ඇතුළු පිරිස එහිදී හමුවීමට අප සූදානමින් සිටිනවා. ඒ වගේම චීනය හා චීන එක්සිම් බැංකුව සමගත් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව අපට ණය දුන් රටවල් සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්ගත විමට අප සූදානමින් සිටිනවා. ඒ අනුව එළැඹෙන බදාදා පමණ වන විට අප නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) හමුවෙනවා. ඉදිරි සතිය වන විට හෝ ඉන් පසුව, අප රටක් ලෙස බංකොලොත්භාවයෙන් මිදී ඊළඟ අදියර කරා ගමන් කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
නමුත් මෙයින් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ. නැවත රට තුළ ආර්ථික කඩා වැටීමක් සිදු නොවීමට නම් අප නව ආර්ථික ක්‍රමවේදයකට කඩිනමින් පරිවර්තනය විය යුතුයි. එය තරගකාරී, ඩිජිටල් අපනයන ඉලක්ක කරගත් හරිත ආර්ථිකයක් විය යුතුයි. අප වෙත පැවරී ඇති දෙවන වගකීම වන්නේ එයයි. ඒ නිසා අප මෙම නව ආර්ථික ප්‍රතිපත්තිය නීතිගත කිරීම වෙනුවෙන් නව ප්‍රවේශයක් ගැනීමට තීරණය කළා. ඒ වගේම විදේශ ආයෝජන, අපනයන ආදායම ඉහළ නැංවීම සහ බහුමාන දරිද්‍රතාවය අවම කිරීම සඳහා නිර්ණායක සකස් කිරීම කළ යුතු වෙනවා. මෙම කලාපය තුළ එවැන්නක් සිදු කරන පළමු රට ශ්‍රී ලංකාව බව මම විශ්වාස කරනවා.
ආණ්ඩුවක් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ පසු, ඊළඟට පැමිණෙන ආණ්ඩුව අනිවාර්යයෙන්ම එම ප්‍රතිපත්තිය වෙනස් කරනවා. එවිට රටක් ලෙස අපට කිසිදා ඉදිරියට යා නොහැකියි. අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ පූර්ව ව්‍යවස්ථාදායක පරීක්ෂාවට ලක් වෙමින් පවතිනවා. අප සකස් කර ඇති ආර්ථික ප්‍රතිපත්තිවලට අමතරව, ආයෝජන මණ්ඩලයේ කාර්යයන්ද සහිතව සමස්ත ආයෝජන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන ආර්ථික කොමිෂන් සභාව වැනි නව ආයතන ද එම පනත මගින් පිහිටුවීමට අපේක්ෂා කරනවා.”