fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ආර්ථියේ වර්ධනයක්

    ශ්‍රී ලංකා ආර්ථියේ වර්ධනයක්

    මේ වසරේ පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකය 5.3%ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී ඇත.

    එය මේ වසරේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අතර කාලයේ දී පළමුවන කාර්තුවේ මුර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වී ඇති ආකාරය පහත රූප සටහනෙහි දැක්වේ.

    තව ද, පවත්නා මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 7,339,004 ක් ලෙස වාර්තා වු අතර එය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 7,959,032 ක් දක්වා සියයට 8.4 කින් වැඩි වී ඇත.

    ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 7.7 ක්, සියයට 26.2 ක්, සියයට 58.9 ක් වශයෙන් වේ.

    තව ද භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය සියයට 7.2 ක් ලෙස වාර්තා වේ.

    2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 1.1 ක්, සියයට 11.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    තව ද, භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) සියයට 10.0 ක වර්ධනයක් වාර්තා කර ඇත.

    2024 වසරේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ගණනය කරනු ලබන්නේ පෙර වසරේ පළමුවන කාර්තුවේ වාර්තා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ අගයට සාපේක්ෂවය.

    2023 වසරේ පළමුවන කාර්තුව හා සසඳන විට 2024 පළමුවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් හිතකර ආර්ථික තත්ත්වයක් අත්විඳින ලදී. 2023 වසරේ පළමුවන කාර්තුවේ පැවති ඉහළ උද්ධමනය, 2024 පළමුවන කාර්තුව වන විට ක්‍රමයෙන් පහළ මට්ටමකට අඩු වූ අතර එය යෙදවුම් මිල පහළ දැමීමට සහාය විය. තවද, මෙම අඩු වූ යෙදවුම් මිල, ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සඳහා සානුබල සපයන ලදී. විශේෂයෙන් 2023 වසරේ පළමුවන කාර්තුව‍ෙහි පැවති ඉහළ යෙදවුම් මිල හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව පැවති ඉදිකිරීම් කර්මාන්තය 2024 වසරේ පළමුවන කාර්තුව‍ෙහි වාර්තා වී ඇති වර්ධනය තුළින් මෙම බලපෑම මැනවින් පිළිබිඹු වේ.

    උද්ධමනය අඩුවීමට සමගාමීව, පොලී අනුපාතිකය ද පහත වැටීම ද 2024 වසරේ පළමුවන කාර්තුව අවසානය වනවිට දැකගත හැකිවිය. එපමණක් නොව, විදේශ මුදල් වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතාව ඉහළ යාමේ හේතුවෙන් ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීම නිසා 2024 පළමුවන කාර්තුවෙහි නිෂ්පාදන කර්මාන්ත කටයුතු සියල්ලටම පාහේ වඩාත් හිතකර බලපෑමක් ඇති කළේය. මීට අමතරව, සංචාරකයන්ගේ පැමිණීමෙහි සිදු වූ කැපී පෙනෙන වර්ධනය හේතුවෙන්, සංචාරක කර්මාන්තයට අදාළ බොහෝ ක්‍රියාකාරකම් මෙම කාර්තුව තුළ සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල වර්ධනයන්

    2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සියයට 1.6 ක වර්ධනයක් වාර්තා කර තිබු කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී ද සමස්තයක් වශයෙන් සියයට 1.1 ක වර්ධනයක් වාර්තා කර ඇත.

    කෘෂිකාර්මික කටයුතුවල වාර්තා වී ඇති මෙම වර්ධනය තුළ ‘ධාන්‍ය වගා කිරීම’ (සියයට 22.4), ‘මිරිදිය ධීවර කටයුතු’ (සියයට 18.1), ‘සත්ව නිෂ්පාදනය’ (සියයට 6.1), ‘කෘෂිකාර්මික සහාය සේවා කටයුතු’ (සියයට 4.2), ‘පළතුරු වගා කිරීම’ (සියයට 3.4), ‘වී වගා කිරිම’ (සියයට 2.8), ‘කුළු බඩු වගා කිරිම’ (සියයට 1.6), ‘කරදිය ධිවර කටයුතු (සියයට 1.1) ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කිරීම හේතුවී ඇත. කෙසේ වෙතත් මෙම කාර්තුවේ දී ‘පැළ බෝකිරීම’ (සියයට 26.3), ‘රබර් වගා කිරිම’ (සියයට 7.4), ‘අනෙකුත් ස්ථිර බෝග වගා කිරිම’ (සියයට 6.3), ‘එළවළු වගා කිරීම’ (සියයට 5.1), ‘තේ වගා කිරිම’ (සියයට 4.1), වන වගා සහ දැව කදන් නිෂ්පාදනය’ (සියයට 2.8), ‘පොල් ඇතුලත් තෙල් සහිත පළතුරු බෝග වගාව’ (සියයට 0.4) වශයෙන් ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    කර්මාන්ත ආර්ථික කටයුතුවල වර්ධනයන්

    පසුගිය වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සියයට 24.3 ක පසුබැසීමක් වාර්තා කර තිබු කර්මාන්ත ආර්ථික කටයුතු 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සියයට 11.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත. කර්මාන්ත ආර්ථික ක්‍රියාකාරකම්’ අතර, යෙදවුම් මිල පහත වැටීම සමග, ‘ඉදිකිරීම් කර්මාන්තය’ සියයට 14.2 කින් වර්ධනය විය. මීට සමගාමීව, මෙම කාර්තුව තුළ ‘පතල් හා කැණීම්’ කර්මාන්තය ද සියයට 18.3 කින් ප්‍රසාරණය වී ඇත. තව ද, නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන් සියයට 10.6 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර එහි දී ‘කඩදාසි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු’ සියයට 2.9ක ඍණ වර්ධනයක් වාර්තා කළ අතර අනෙකුත් සියලුම නිමවුම් කර්මාන්ත කටයුතු ධන වර්ධනයන් වාර්තා කර ඇත. ඒ තුළ‘මුලික ලෝහ සහ ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදනය’ (සියයට 43.3), ‘පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන කර්මාන්තය’ (සියයට 31.6), ‘රසායනික ද්‍රව්‍ය හා මුලික ඖෂධ වර්ග නිෂ්පාදනය’ (සියයට 19.9), ‘වෙනත් නිමවුම් කර්මාන්ත’ (සියයට 19.2), ‘ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය’(සියයට 11.9), ‘දැව හා දැව ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය’ (සියයට 10.0) ‘රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය’ (සියයට 9.7), ‘යන්ත්‍රසුත්‍ර හා උපකරණ නිෂ්පාදනය’ (සියයට 8.3), ‘රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු’ (සියයට 6.6), ‘වෙනත් ලෝහ නොවන ඛනිජ නිෂ්පාදනය’ (සියයට 5.3) සහ ‘ගෘහ භාණ්ඩ නිෂ්පාදනය’ (සියයට 1.3) ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත. 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු අතුරින් ‘විදුලිය, ගෑස්, වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම’ සහ ‘ජලය එක් රැස් කිරීම, පිරිපහදු කිරීම සහ බෙදා හැරීම’ පිළිවෙලින් සියයට 11.7 ක් සහ සියයට 12.9 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    සේවා ආර්ථික කටයුතුවල වර්ධනයන්

    2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී සේවා ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් සියයට 2.6 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර ඒ තුළ බොහෝ සේවා අර්ථික කටයුතු ධන වර්ධනයන් වාර්තා කර ඇත. එහි දී ‘නවාතැන් හා ආහාර පාන සැපයීම’ සහ ‘රක්ෂණ සේවා’ පිළිවෙලින් සියයට 40.4, සියයට 17.8 ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර ඇත. තව ද ‘තැපැල් හා කූරියර් සේවා’ (සියයට 5.1), ‘භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සහ ගබඩාකරණ කටයුතු’ (සියයට 3.5), ‘දේපොළ වෙළදාම් කටයුතු සහ නිවාස අයිතිය’ (සියයට 3.1), ‘වැඩසටහන් සම්පාදනය සහ ගුවන්විදුලි හා රූපවාහිනි විකාශන කාර්යයන්’ (සියයට 2.5), ‘වෘත්තීය සේවා ‘(සියයට 2.3), ‘අධ්‍යාපනය’ (සියයට 2.1), ‘විදුලි සංදේශ සේවා’ (සියයට 1.2) ‘තොග හා සිල්ලර වෙළදාම’ (සියයට 1.1), ‘අනෙකුත් පෞද්ගලික සේවා’ (සියයට 1.1) සහ ‘මූල්‍ය සේවා’ (සියයට 0.8) යන ආර්ථික කටයුතු ද මෙම කාර්තුවේ දී ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    මේ අතර සේවා ආර්ථික කටයුතු අතුරෙන් ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයිමේ කටයුතු’ (සියයට 5.2), ‘රාජ්‍ය පරිපාලන කටයුතු ‘ (සියයට 4.2), සහ ‘සෞඛ්‍ය සේවා’ (සියයට 0.7) ක් වශයෙන් ඍණ වර්ධන වේගයන් 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී වාර්තා කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.