fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF අවසන් වාරිකයත් හරි

    IMF අවසන් වාරිකයත් හරි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය, ශ්‍රී ලංකාවට අනුමත කර ඇති විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 336 ක එහි තුන්වන වාරිකය නිදහස් කිරීම සඳහා මෙමගින් ප්‍රවේශය ලබාදේ.

    ජාත්‍යන්තර අරමුදල සිය දෙවන සමාලෝචනය මගින් සඳහන් කර ඇත්තේ මෙම විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව් කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවයි.

    2023 දෙසැම්බර් අවසානය වනවිට IMF සමඟ ඇතිකරගත් කොන්දේසි අනුව, සමාජ වියදම් පිළිබඳ ඇඟවු ඉලක්කය හැර සෙසු සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇති බව ද ඔවුහු අවධාරණය කරති.

    2024 අප්‍රේල් අවසානය වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාදයකින් සපුරා හෝ ක්‍රියාත්මක කරන ලද බව ද IMF පවසයි.

    එසේ වුවද, ආර්ථිකය තවමත් අවදානමක පවතින අතර අතර ණය තිරසාරත්වය සඳහා ඇත්තේ තවමත් අවදානම් තත්ත්වයකි.

    ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකය තිරසාර ප්‍රතිසාධනය සහ ණය තිරසාරත්වය කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් බව IMF සිය දෙවන සමාලෝචනය මගින් පෙන්වා දී තිබේ.

    මේ අතර දෙවන සමාලෝචනය අනුමත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට, කළමනාකාරීත්වයට සහ දූත මණ්ඩල කණ්ඩායම වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කෘතඥතාව පළ කර සිටී.

    සමාලෝචනය අනුමත කිරීම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සඳහා අඛණ්ඩ කැපවීම පිලිගැනිම තහවුරු කිරීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    තව ද, ඉන්දියාව, ජපානය හා ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණයකරුවන්ගේ කමිටුවට සහ චීනයට කෘතඥතාව පුද කරන අතර මෙම අනුමැතිය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

    දිගුකාලීන තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා වඩාත් ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සඳහා ද මෙය ඉවහල් වනු ඇති බව ඔහු කියාසිටී.

    වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය මෙම ජයග්‍රහණය ලබා ගැනීමටත්, ආර්ථිකය ගොඩගැනීමටත්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ගුණාත්මක භාවිතයන් අනුගමනය කරන රටක් බවට පරිවර්ථනය කිරීමටත් සමත් වූ බවයි.

    ඒ වෙනුවෙන් කැපකිරීම් සිදුකරමින් සහයෝගය දැක්වු මහජනතාවට, අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ රජයට සහයෝගය දුන් නියෝජිතයන්ට සහ බලධාරීන්ට ස්තුතිවන්ත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.