fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදි උපාධි සිසුන් බඳවාගැනීම අපක්ෂපාතීලු

    ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදි උපාධි සිසුන් බඳවාගැනීම අපක්ෂපාතීලු

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අපක්ෂපාතී, සාධාරණ සහ නීත්‍යානුකූල ක්‍රියාපටිපටියකින් සිදුකළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය අද(08) නිවේදනය කළේය.

    එම නිවේදනය මෙසේය.

    ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු සහ ඒ හා අදාල සත්‍ය කරුණු මෙම මාධ්‍ය නිවේදනය මගින් මහජනතාව වෙත දැනුවත් කෙරේ.

    ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය 2009 වර්ෂයේදී ආරම්භ කරන ලදුව ඒ වනවිට ත්‍රිවිධ හමුදාවන්හි පැවැති වෛද්‍ය නිලධාරින්ගේ ඌණතාවය සම්පුර්ණ කිරිමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේදීම වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව ආරම්භ කරන ලදි. ත්‍රිවිධ හමුදාවන්හි පැවති වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ වීමත් සමග, රටට අවශ්‍ය විදේශ විනිමය ජනනය කිරිමේ අරමුණ ඇතිව විදේශ පුරවැසිභාවය සහිත ශ්‍රි ලාංකික දෙමව්පියන්ගේ දරුවන් එම උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම 2013 වර්ෂයේදී ආරම්භ කරන ලදි.

    තවද, දකුණු ආසියානු තාක්‍ෂණික සහ වෛද්‍ය විද්‍යා ආයතනයෙහි (SAITM) වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිවිල් සිසුන් 864 දෙනෙකු ‌2017 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පිඨය වෙත අන්තර්ග්‍රහණය කරන ලදි. එමෙන්ම ජාතික විශ්වවිද්‍යාලයන්ට සිසුන් බඳවා ගැනීමේ නිර්ණායකයන් ප්‍රතිසංශෝධනය කිරිම හේතුවෙන් උද්ගත වූ විසඳීමට ගැටලුව විසඳිම සඳහා 2022 වර්ෂයේදී සිවිල් සිසුන් 87 දෙනෙකු ‌ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමු කරන ලදි.

    ඒ අනුව ‌වර්තමානය වන විට ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් 1337 දෙනෙකු බඳවාගෙන ඇති අතර, 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සිසුන් 828 දෙනෙකු වෙත එම උපාධිය ප්‍රදානය කර තිබේ. ත්‍රිවිධ හමුදාවන් සදහා වාර්ෂිකව අවශ්‍ය වන වෛද්‍ය කෙඩෙට් නිළධාරී ප්‍රමාණය බඳවා ගැනීමෙන් පසුව, ‌ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ඉතිරිව පවතින අවස්ථාවන් සහ සම්පත් ඵලදායි ලෙස යොදානොගතහොත්, වෛද්‍ය පිඨයේ සහ විශ්වවිද්‍යාලීය රෝහලේ මුල්‍ය ආයෝජන, යටිතල පහසුකම් සහ මානව සම්පත් වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මෙරට මුහුණපා සිටින අවස්ථාවක අපතේ යැවිමක් වනු ඇත.

    ඉහත අවස්ථානුගත කරුණු යටතේ 2024 අප්‍රේල් මස 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණය ගනු ලැබිණි. ඒ අනුව දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග සුදුසුකම් හෝ කේම්බ්‍රිජ්, එඩෙක්සෙල් වැනි අනුරුප විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන්ගෙන් අයදුම්පත් කැඳවීමේ දැන්වීම 2024 අප්‍රේල් මස 19 වන දින විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙහි සහ 2024 අප්‍රේල් මස 21 වන දින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ජාතික පුවත්පත් වල පලකරන ලදි.

    මෙම දැන්වීම මගින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් සහ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ආදිය දැනුම් දෙන ලදි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වනවිට අයදුම්පත් 956ක් ලැබී තිබූ අතර අදාල අයදුම්කරුවන්ගේ නාම ලේඛණය, ඔවුන්ගේ Z ලකුණු හෝ විදේශ විභාග ප්‍රතිඵල සමඟ විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙහි පලකරන ලදි.

    ඉහත සඳහන් කරන ලද අයදුම්පත්, විශ්වවිද්‍යාලයීය සිසුන් බඳවා ගැනීමේ කමිටුව මගින් විමර්ශනයට ලක් කිරිමෙන් අනතුරුව මූලික සුදුසුකම සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් 856 ක් අතුරින් අයදුම්කරුවන් 242 ක් අභියෝගතා පරීක්‍ෂණය සඳහා තෝරගන්නා ලදි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් 2021 වර්ෂයේදී රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවශ්‍ය අවම Z අගය ලෙස ප්‍රසිද්ධ කරන ලද 1.4059 යොදාගනිමින් දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන්ගේ අයදුම්පත් කෙටි ලේඛනගත කිරීම සිදුකරන ලදි. නියමිත විෂයයන් සඳහා ලබාගත් අවම සාමාර්ථයන් A, A හා B ලෙස යොදාගනිමින් විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන්ගේ අයදුම්පත් කෙටි ලේඛනගත කරන ලදි. ලැබුණු අයදුම්පත් ප්‍රමාණයට සමානුපාතිකව දේශීය සහ විදේශ විභාග සුදුසුකම් සහිත කාණ්ඩ සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් ප්‍රමාණය වෙන් වෙන්ව නිශ්චය කරන ලද අතර දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග සුදුසුකම් සහිත අයදුම්කරුවන් 216ක් සහ විදේශීය විභාග සුදුසුකම් සහිත අයදුම්කරුවන් 26ක් කෙටි ලේඛනගත කර අභියෝගතා පරීක්‍ෂණය සඳහා කැඳවනු ලැබුණි.

    එම අභියෝගතා පරීක්ෂණය 2024 මැයි මස 14 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එය පහත සඳහන් ප්‍රශ්නපත්‍ර 3 න් සමන්විත විය.

    • පලමු ප්‍රශ්න පත්‍රය – විෂය දැනුම, බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනීම පිළිබඳ බහුවරණ ප්‍රශ්න.

    • දෙවන ප්‍රශ්න පත්‍රය – ඉංග්‍රීසි භාෂාව

    • තෙවන ප්‍රශ්න පත්‍රය – මනෝමිතික පරීක්‍ෂණය

    එම අභියෝගතා පරීක්‍ෂණය සඳහා, මුලු අපේක්ශකයන් 203ක් දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන් 183ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන් 20ක් වශයෙන් සම්පුර්ණ අපේක්ශකයන් 203ක් ඉදිරිපත් විය. එම අපේක්ශකයන් 2024 මැයි මස 20, 21 සහ 22 යන දිනවල පැවති සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවන ලදුව දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන් 158ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන් 20ක් එම සම්මුඛ පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් විය.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි කලමණාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාලීය අභ්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සහ ශ්‍රි ලංකා වෛද්‍ය මණ්ඩලයේ නියෝජිතයන් නිරික්‍ෂකයින් ලෙස සහභාගි විය. සම්මුඛ පරීක්‍ෂණයේදී මුලු ලකුණු 100න් 90ක් දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙල) විභාග ප්‍රතිඵල හෝ විදේශීය විභාග ප්‍රතිඵල සඳහාද ලකුණු 10ක් ජාතික වශයෙන් පිලිගත් ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ සාක්ෂි සහිතව තහවුරු කරන ලද නායකත්ව ගුණාංග හා හැකියාවන් සඳහාද වෙන් කරන ලදි.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ සුදුසුකම්, සිසුන් බඳවා ගැනීමේ කමිටුවේ සංයුතිය, අභියෝගතා පරීක්‍ෂණයෙහි ව්‍යුහය, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයෙහි සංයුතිය, අවසන් තෝරා ගැනීම් සඳහා ලකුණු ලබා දෙන ආකාරය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇත. එසේම එම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලැබු අයදුම්කරුවන්ගේ විස්තර ද උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කරන අවස්ථාවේදි විශ්වවිද්‍යාලය සමඟ එළඹෙන සියලුම කොන්දේසි අඩංගු ගිවිසුම විශ්වවිද්‍යාලයීය වෙබි අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇත.

    ඒ අනුව සිසුන් තෝරා ගැනීමේ ක්‍රියාවලියෙහි විවෘතභාවය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම මගින් සිසුන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා සිදුවිම වැලැක්වීම සහ යහපාලනයේ මූලධර්ම අනුගමනය කිරිම ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතිබව ඉහත පැහැදිලි කිරීම මගින් තහවුරු වනු ඇත. එසේම කිසියම් අයදුම්කරුවෙකු තෝරාගැනීමෙන් අනතුරුව, සාවද්‍ය තොරතුරු ලබාදී ඇති බව තහවුරු වුවහොත් අදාල අයදුම්කරුගේ ශිෂ්‍ය භාවය සහ ලියාපදිංචිය අවලංගු කිරීමට පියවර ගැනීම අදාල අයදුම්කරු සහ විශ්වවිද්‍යාලය අතර එලඹෙනු ලබන ගිවිසුමේ කොන්දේසි වලට අනුව විශ්වවිද්‍යාලය මගින් සිදු කරනු ඇත.

    මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිටම සහයෝගය ලබා දුන් පාර්ශවයන් කෘතවේදීව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අපක්ෂපාතී, සාධාරණ සහ නීත්‍යානුකූල ක්‍රියාපටිපටියකින් සිදුකළ බව අයදුම්කරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්, වෛද්‍ය වෘත්තීකයන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පොදු මහජනතාව වෙත විශ්වවිද්‍යාලය පාලනාධිකාරිය විසින් මෙයින් තහවුරු කරනු ලැබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.