කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පොලීසියේ පිරිසක් නගරාධිපතිවරයා සමග ඊයේ (30) රාත්‍රියේ කේක් සපා සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සෙත්පතමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ රතනසූත්‍රය සතියක් පුරා දේශනා කිරීමේ පිංකමක් අතර තුර කුරුණෑගල පොලීසියේ නිලධාරීන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම උපන්දින සාදය සංවිධානය කෙරී ඇත.
නගරාධිපතිවරයා වෙනුවෙන් පොලීසියේ නිලධාරීන් විසින් සකස් කළ උපන්දින කේක් එකට ඉටිපන්දම් පවා දල්වා තිබී ඇත. එම දැල්වූ ඉටිපන්දම් කටින් පිඹ නගරාධිපතිවරයා විසින් නිවා ඇති අතර පසුව එම උපන්දින කේක් ගෙඩිය කපා ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පිළිගන්වා ඇත. කොවිඩ් වසංගත තත්වය හමුවේ නගරාධිපතිවරයා විසින් සිය කටින් පිඹ නිවා දැමූ ඒ උපන්දින කේක් ගෙඩියේ කැබලි පොලිස් නිලධාරීන්ද තලු මරමින් ආහාරට ගෙන තිබීම විශේෂත්වයකි.
මෙම සාදය සම්බන්ධයෙන් කෙරුණු මූලික විමර්ශනයේදීී පෙනී ගොස් ඇත්තේ එය සංවිධානය කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් විසින් බවය. නගරාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා අතර ඇති සමීප හිතවත්කම මෙම සාදය සංවිධානය වීමට මුලිවී ඇතැයි දැනගන්නට තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේ අදාල සහකාර පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගලින් මාරුකරන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝගකර ඇති බවයි.