fbpx
තවත්
    මුල් පිටුවspecialරටේ සතර කොනට සේවය කිරීමේ වුඩ්වඩ් සිහිනය

    රටේ සතර කොනට සේවය කිරීමේ වුඩ්වඩ් සිහිනය

    රටේ සතර කොනට සේවය කිරීමේ එෆ්.එල් වුඩ්වඩ් මැතිතුමාගේ සිහිනය යථාර්ථයක් කිරීමේ ජාතික කාර්ය භාරය මහින්ද විද්‍යාලයට පැවරී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිහාල් සෝමරත්න මහතා පැවසීය.

    ලෝක ප්‍රකට පාලි භාෂා පඬිවරයෙක් මෙන්ම අධ්‍යාපනඥයකු වූ මහින්ද විද්‍යාලයේ විදුහල්පති (1903-1919) එෆ්.එල් වුඩ්වඩ් මැතිතුමාගේ 72වැනි ගුණානුස්මරණය වෙනුවෙන් මහින්ද සමාජය (Mahinda Club) විද්‍යාලයීය ඕලකට් ශාලාවේ දී සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වෙමින් ආචාර්ය නිහාල් සෝමරත්න මහතා (මැයි 27) වැනිදා මේ බව සඳහන් කළේය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිහාල් සෝමරත්න මහතා

    පණ්ඩිත ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද F.L Woodward, Out of his life and thought ග්‍රන්ථයේ නැවත මුද්‍රණයක් එළි දැක්වීම ට ද මහින්ද සමාජය මෙහි දී පියවර ගෙන තිබිණි.

    එෆ්.එල් වුඩ්වඩ් මැතිතුමාගේ ගුණනුස්මරණ සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහාක පුතුන්ට මෙහි දී ත්‍යාග පිරිනැමිණි.

    ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය නිහාල් සෝමරත්න මහතා මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යකු ලෙස 1973 උසස් පෙළ ගණිත අංශයෙන් මුළු දිවයිනේ පළමු ස්ථානය දිනාගත් සිසුවා ය. ව්‍යවහාර ගණිතය,ශුද්ධ ගණිතය,භෞතික විද්‍යාව විෂයන් තුනටම සියයෙන් සියය ලබා රසායන විද්‍යාවට ලකුණු අසූ පහක් ලබාගනිමින් ඔහු පිහිටවූ වාර්තාව බිඳ නොහෙළූ සහ මේ වනවිට උසස් පෙළ විභාගයේ විෂයන් ගණන තුනකට සීමාවන නිසා බිඳ හෙළිය නොහැකි වාර්තාවක් ලෙස ද ප්‍රකටය.

    එෆ්.එල් වුඩ්වඩ් ගුණානුස්මරණ දේශනය පවත්වමින් ආචාර්ය නිහාල් සෝමරත්න මහතා මෙසේ ද කීවේය.

    මා ගැන සුවිශේෂී වර්ණනාවක් කරමින් හඳුන්වා දුන්නා. මගේම පාසලට මා ආපු අවස්ථාවක එවැනි වර්ණනාවක් අවශ්‍ය ද ? කියලත් හිතුණා. මහින්ද විද්‍යාලයට මම අමුත්තෙක් නොවෙයි කියලා මා විශ්වාස කරනවා. මෙම අවස්ථාව මට භාග්‍යක් වගේම මෙම අවස්ථාව ලබාදීම මට කළ ගෞරවයක් හැටියට සළකනවා.

    තමන්ගේ කටයුතු ඉහළින් කියන්න මහින්ද විද්‍යාලය අපට ඉගැන්නුවේ නැහැ. අපේ කටයුතු හොඳ නම් අනෙක් අය ඒ කටයුතු ගැන හොඳ කියාවි. එහෙත් මට මේ අවස්ථාවේ ඉන් මදක් ඔබ්බට යන්න සිද්ධ වෙනවා.

    1973 විශිෂ්ට ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙහි සඳහන් උනා. නමුත් එය එක පුද්ගලයෙක් විසින් කළ දෙයක් නෙමෙයි. ඒ වර්ෂයේ අපි කිහිප දෙනෙක්ගෙ ප්‍රතිඵල හොඳ මට්ටමක තිබුණා. එවැනි උසස් ප්‍රතිඵල ලබාගත හැක්කේ කොළඹ උසස් යැයි සම්මත පාසල්වලට පමණක් නෙමෙයි කියලා මේ ප්‍රතිඵලයෙන් අපට පෙන්වන්න පුළුවන් උනා.

    උසස් පෙළ ගණිත අංශයෙන් මා පළමු වැනියා වෙද්දි තෙවැනි ස්ථානය මා මිත්‍ර පුබුදු දයාවංශ ලබාගත්තා. එම වර්ෂයේ ජීව විද්‍යාවෙන් ලංකාවේ පළමු තැන දිනා ගත්තේත් අප විද්‍යාලයේ තිස්ස නාඔටුන්නයි. ඒ විතරක් නෙමෙයි එවර අපේ මිතුරන් රැසක් විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ නිසා එක පුද්ගලයෙක් නෙමෙයි මහින්ද විද්‍යාලය ඒ ගුරුවර ගුරුවරියන් සමස්ත සිසුන්ටම හොඳ අධ්‍යාපනයක් ලබලා දුන්න නිසා තමයි මේ ජයග්‍රහණය ලැබුණේ.

    අපේ විදුහල් මාතාවට ගෞරව කරන එක විදියක් තමයි අධ්‍යාපන ජයග්‍රහණ ලබලා විදුහලේ කීර්ති නාමය තව තවත් ඉහළට ගැනීම. ඒ සඳහා ඔබේ අප්‍රතිහර්ත ධෛර්ය යොදන්න.

    අද මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වන්නේත් අපේ හදවත් අතරේ හැමදාමත් ඉන්න එෆ්.එල් වුඩ්වඩ් මැතිතුමා. මමත් මෙතනට පැමිණියේ එතුමාට මගේ ගෞරවය හා භක්තිය පුද කිරීම සඳහායි. මම වුඩ්වඩ් මැතිතුමාගෙන් ඉගෙන ගෙන නැහැ. 1952 මැයි 27 වැනිදා අද වැනි දවසක තමයි වුඩ්වඩ් මැතිතුමා මෙලොවින් සමුගත්තෙ. මහින්ද විද්‍යාලයේ තියෙන සුවිශේෂී අධ්‍යාපනය, මහින්ද විද්‍යාලයේ තියෙන දර්ශනය, අධ්‍යාපන හා සංස්කෘතිය ස්ථාපනය කිරීමට ප්‍රධානම අඩිතාලම දැම්මෙ වුඩ්වඩ් මැතිතුමායි.

    ඔබ ස්මාරකයක් සොයන්නේ නම් අවට බලන්න යැයි අදහස් ගැන්වෙන ප්‍රකට ලතින් කියමනක් තිබෙනවා. ඕල්කට් තුමා නමින් නම් කළ මේ ශාලාව, විද්‍යාලයීය ලාංඡනය, ආදර්ශ පාඨය, පංති කාමර සහිත ගොඩනැගිලි මේ සියල්ල වුඩ්වඩ් මැතිතුමාගේ නිර්මාණ. ඒ නිසා ඔබ ස්මාරකයක් සොයන්නේ නම් අවට බලන්න කියන ලතින් කියමන තුළ වුඩ්වඩ්තුමා දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශිෂ්‍ය නේවාසිකාගාරය සහ ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරන්නත් වුඩ්වඩ්තුමා මූලිකත්වය ගත්තා. ඒ නිසා මහින්ද විද්‍යාලයේ අදත් දකින්නට ලැබෙන දේවල්වලින් භාගයකට වැඩිය එදා වුඩ්වඩ් තුමාගේ දුර දක්නා නුවණින් ලැබුණ දේවල්. ඒ නිසා කළ ගුණ දන්නා මිනිසුන් විදියට එතුමාගේ මතකය අලුත් කරලා එතුමා කළ සේවයට උපහාර කිරීම වැදගත්. දෙවැන්න අපි අපේ ජීවිතයට එතුමාගෙන් ගත හැකි පාඩම් උගත යුතුයි.

    මෙහි දී පණ්ඩිත ගුණවර්ධන මැතිතුමා ආදි මහින්දයීයෙක්. එතුමා වුඩ්වඩ් මැතිතුමාගේ ඇත්ත ශිෂ්‍යයෙක්. එතුමා වුඩ්වඩ් මැතිතුමා ගැන පොඩි පොතක් සම්පාදනය කරලා තිබුණා. මේ වටිනා පොත මහින්ද සමාජය නැවත මුද්‍රණය කිරීමට පියවර අරගෙන එය අද නැවත දොරට වැඩීම සිදු කරනවා. සෑම මහින්ද ආදි ශිෂ්‍යයෙක්ම වගේම වර්තමානයේ විද්‍යාලයේ ඉගෙන ගන්න පුතුන් මෙම පොත කියවීම ඉතා වැදගත් වෙනවා. මහින්දෙ අද තියෙන තැනට ආවේ කොහොමද කියලා දැන ගැනීම වැදගත්. ඉතිහාසය අපි හදාරන්නෙ අද අපි සිටින ස්ථානයට පැමිණියේ කෙසේ ද කියලා බලන්නයි. ඇයි අපි එය දැනගන්න අවශ්‍යය. අපි තීරණය කළ යුතු වෙනවා ඉදිරියේ ගමන් කළ යුතු වන්නේ මොන දිශාවට ද කියලා. එය තීරණය කළ හැක්කේ අපේ අතීතය හා වර්තමානය අනුවයි.

    මම මහින්ද විද්‍යාලයට ශිෂ්‍යයෙක් හැටියට ආවේ 1966 දි හය වැනි පන්තියට. එතැන් පටන් 1974 විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකම් අවුරුදු 9ක් මම මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙනුම ලැබුවා. මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය කියන්නෙ පොත පත හැදෑරීම පමණක් නෙමෙයි. අධ්‍යාපනයට පොත පත හැදෑරීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් සම්පූර්ණ අධ්‍යාපනය කියන්නෙ පොත පත හැදෑරීම පමණක් නෙමෙයි. විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ඊට එක්විය යුතුයි. විද්‍යාලයේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියටත්, 1973 මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා විදියටත්, ශිෂ්‍ය නායකයකු හැටියටත් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. මට මහින්ද විද්‍යාලයෙන් ලැබුණ අධ්‍යාපනය කියන්නේ මේ සියල්ලටමයි.

    සමහර අවස්ථාවල අපට තිබෙන දේවල් ගැන අපි අගය කරනවා අඩුයි. නැති දේවල් ගැන තමයි වද වෙන්නෙ. මහින්ද විද්‍යාලය වැනි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලැබෙන්නෙ ලංකාවේ ඉතාම අතලොස්සකටයි. වර්තමානයේ අධ්‍යාපනය හදාරන මේ දරුවන්ට ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව නාස්ති කරගන්න එපා. ඔබගේ අධ්‍යාපනය මේ විද්‍යාලයේ දී සම්පූර්ණ කරගන්න. මහින්ද විද්‍යාලයීය මාතාව ඔබෙන් බලාපොරොත්තුවෙන්නෙත් එයයි.

    මට ඉගැන්වූ ගුරුවරුන් ගොඩක් ඉන්නවා. ඒ අතර විෂය පරිබාහිර ක්‍රියාවලදි මට ඉගැන්වීම් කළ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් දෙදෙනෙක් ගැන මම මෙහි දී සිහිපත් කරනවා. ලුතිනන් කර්නල් එල්.ඩබ්ලිව්. ජයතිලක මැතිඳුන් (නැසීගිය) එතුමා මලල ක්‍රීඩා භාර ආචාර්ය හා මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කළා. එතුමා මලල ක්‍රීඩාව විතරක් නෙමෙයි අපේ ජීවිතය හැඩ ගසා ගන්න අවවාද මෙන්ම මග පෙන්වීම ලබා දුන්නා.

    පළමුව මහින්දය දෙවැනුව තමන් කියලා හිතන්න කියලා එතුමා අපට නිතර කිවුවා. ඒක තමයි මලල ක්‍රීඩා කණ්ඩායමේ එවකට ප්‍රධාන ආදර්ශ පාඨය උනේ. ඒක අප සියලු දෙනාටම වැදගත්. අනෙක් ගුරුපියාණන් තමයි සී.පී සිරිවර්ධන මැතිතුමා. එතුමා මට විෂය ඉගැන්නුවේ නැහැ. නමුත් අපේ විවාද කණ්ඩායම භාරව කටයුතු කළේ එතුමායි. ඒ නිසා විවාදයකට යන්න පෙර අපි දවස් ගණනක් එතුමා එක්ක විවාදයේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කරනවා. එතුමා මේ වෙලාවේ දී අපට සාහිත්‍ය භාෂාව සංස්කෘතිය ආගම සහ හොඳ නරක පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා.

    ඒ කාලයේ විනය භාර ආචාර්යවරයා උනෙත් සිරිවර්ධන මැතිතුමායි. මමත් ශිෂ්‍යනායකයෙක්. දවසක් සහෝදර ශිෂ්‍ය නායකයෙක් එක්ක ආපන ශාලාව අසලට නුදුරින් සිටියදී අපි දැක්කා ශිෂ්‍ය දෙන්නෙක් අතර ආරවුලක් ඇති වෙනවා. මේ ආරවුල සිරිවර්ධන සර් ළඟට යනකම් ගියා. මේ නඩුව විසඳන්න පටන්ගත්ත සිරිවර්ධන සර් මටයි අර මගේ යාළු ශිෂ්‍යනායකයටත් එන්න කියලා තිබුණා. අපි හිතුවා මේ අපි දන්න දේවල් අහන්න සාක්ෂිකරුවො විදියට එන්න කිවුවා කියලා. හැබැයි සිද්ධ උනේ වෙන දෙයක් සාක්ෂිකරුවො නෙමෙයි විත්තිකරුවො විදියට තමයි අපිව කැඳවලා තියෙන්නෙ කියලා ටික වේලාවක් යනකොට තේරුණා.

    අපි කිවුවා සර් අපි ඈත උන්නෙ මේ සිද්ධියට අපි සම්බන්ධ නෑ කියලා. සිරිවර්ධන සර් ඒ වෙලාවේ ඇගිල්ලා දිගු කරලා කිවුවා ළමයෝ ඒක තමයි වැරැද්ද කියලා. මේ වගේ දෙයකට අපේ සම්බන්ධයක් නෑ කියන්න ශිෂ්‍යනායකයෙක්ට බෑ කියලා සිරිවර්ධන සර් කිවුවා. ඔබ ශිෂ්‍යනායකයෙක් නම් මේ විද්‍යාලය තුළ සිදුවන සියලුම දේවල් සඳහා සම්බන්ධ වෙන්න ඕන කිවුවා. නායකත්වය ගැන වැදගත් පාඩමක් ඒ විදියට සර් අපට කියලා දුන්නා. දැන් ඉන්න නායකයො කියා ගන්න අය මේ සිරිවර්ධන සර්ගේ පාඩම ඉගෙන ගත්ත නම් අපට මීට වඩා හොඳ රටක් දකින්න තිබුණා.

    අද දිනයේ අපි වුඩ්වඩ් මැතිතුමා ගැන නොදන්නා කරුණු කිහිපයක් මෙතනදි සාකච්ඡා කළ යුතුයි. මේ සමහර කරුණු මම දැනගත්තෙ පණ්ඩිත ගුණවර්ධන මැතිතුමා ලියපු අගනා ග්‍රන්ථයෙන්. වුඩ්වඩ් මැතිතුමා ක්‍රිස්ත්‍රියානි දේව ගැතිවරයෙක්ගෙ පුතෙක්. එවැනි පසුබිමක තමයි එතුමා ළමා කාලය ගත කළේ. වෙන් හී වෝස් එයිට් ඉයර්ස් ඕල්ඩ් හී වෝස් ඇඩ්මිටට් ටු ක්‍රයිස් හොස්පිටල් කියලා මේ පොතේ එක් තැනක තියෙනවා.වයස අටේ දී වුඩ්වඩ් මැතිතුමාට ලොකු රෝගයක් හැදිලද කියලා මම කල්පනා කරන්න උනා. ඉංග්‍රීසි භාෂාව සමහර වෙලාවට අප නොමග යවන සුළු භාෂාවක්. ක්‍රයිස් හොස්පිටල් කියන්නෙ ඉස්පිරිතාලයක් නෙමෙයි. ක්‍රයිස් හොස්පිටල් කියන්නෙ ඒ දවස්වල එංගලන්තයේ තිබුණු ප්‍රධාන පාසලක්. එතැනින් කිවුවේ වුඩ්වඩ් මැතිතුමා ඉගෙන ගත්තෙ ඒ පාසලේ කියලයි. මේ පාසලේ දී වුඩ්වඩ් මැතිතුමා ලතින් ග්‍රීක ඇතුළු භාෂා ගණනාවක් හදාරලා එංගලන්තයේ ප්‍රධානම විශ්වවිද්‍යාලයක්වන ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට එතුමා ඇතුළත් වෙනවා.

    ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හැදිලා තියෙන්නෙ කොලේජස් කීපයකින්. කොලේජස් කියන්නෙ වෙන වෙනම අධ්‍යාපන ආයතන වලටයි. වුඩ්වඩ් මැතිතුමා මින් එක් කොලේජ් එකක් වන සිඩ්නි සසෙක්ස් කොලේජ් එකට ඇතුළත් උනා. මම ඉක්මනින් මේ අධ්‍යාපන ආයතනයේ විකිපීඩියා පිටුවට ගිහිං එහි ඉගෙනුම ලැබු වැදගත් අධ්‍යාපනඥයන් අතරෙ වුඩ්වඩ් මැතිතුමාගේ නම තිබේදැයි බැලුවා. එහි තිබුණෙ නම් හැට දෙකක් පමණයි. එක්දහස් පන්සිය ගණන්වල ආරම්භ කළ මේ ආයතනයේ එහි අධ්‍යාපනය හැදෑරු විශිෂ්ටයින් ලෙස ප්‍රධාන නම් හැට දෙකක් තිබුණා. මම ඉතා සතුටු උනා ඒ නම් හැට දෙක අතරේත් අපේ එෆ්.එල් වුඩ්වඩ් මැතිතුමාගේ නම තිබුණා. එහි සඳහන් වෙනවා වුඩ්වඩ් මැතිතුමා පාලි භාෂාව පිළිබඳ පඩිවරයෙක් සහ අධ්‍යාපනඥයෙක් කියලා.

    ඒ නිසා වුඩ්වඩ් මැතිතුමාට ගෞරව කිරීම අප වැනි සුළු මිනිසුන් කරන දෙයක් නෙමෙයි. මේ ලෝකේ උගත් ප්‍රාඥයින් වුඩ්වඩ් මැතිතුමාට ගෞරව කරලා තියෙනවා. විශේෂයෙන් එතුමා පාලි භාෂාවේ තිබෙන බෞද්ධ ග්‍රන්ථ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ කාර්යය පිළිබඳව ඇගයීමට ලක්කර තිබෙනවා.

    වෑත්තෑවේ හාමුදුරුවො ගුත්තිල කාව්‍ය රචනා කරනවිට පරසතු මලින් පුද ලද මුණි සඳුට පිය නද වන පස මලින් පුද කළැයි පවසනු කවර වරද ද ? ගුත්තිල කාව්‍යෙය් තිබෙන කවි පංතියක්. මොකද්ද මේ පරසතු මල කියන්නේ දිව්‍යලෝකේ පිපෙනවායැයි මිනිසුන් විශ්වාස කරන ඉතා අනර්ඝ පුෂ්පයක්. පරවෙන්නෙ නෑ කියන ඒ පුෂ්පයෙන් තමයි දෙවියන් අපේ බුදුන් පිදුවේ. පරසතු මලින් පුද ලද වුඩ්වඩ් මැතිතුමාට අපට හැකි අයුරින් වන පස මලින් පුජා කිරීමයි අප ද මේ කරන්නෙ.

    වුඩ්වඩ් මැතිතුමා මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධුරයට පැමිණියේ කෙලෙස ද යන්නත් අපි සාකච්ඡා කළ යුතුයි. මහින්ද විද්‍යාලය මහින්ද විද්‍යාලය නමින් පටන් ගත්තේ 1892 දි යි. නමුත් එතැන් පටන් විද්‍යාලයේ වර්ධනයක් තිබුණේ නැහැ. මොහන්දිරම් තෝමස් අමරසූරිය මැතිතුමා තමයි කළමනාකරු හැටියට හිටියේ. එතුමාට මේ පාසල ඒ දිනවල හොඳින් යන්නෙ නැහැ කියලා තේරුණා.

    එතුමා ඕල්කට් මැතිතුමාගේ මිත්‍රයෙක්. ඒ නිසා ඕල්කට් මැතිතුමාගේ ආශිර්වාදයෙන් පටන් ගත්ත මේ පාසලට හොඳ විදුහල්පතිවරයෙක් අවශ්‍ය යැයි මොහන්දිරම් තෝමස් අමරසූරිය මැතිතුමා ලිපියක් ලිවුවා. ඒ වනවිට පරම විඥානාර්ථ සංගමයේ කටයුතු ඉදිරියට ගෙනියන්න සහ තමන් කළ හැකි උපරිම දෙයක් කරන්න කැමතියි කියලා වුඩ්වඩ් මැතිතුමාත් ඕල්කට් මැතිතුමාට දන්වලා තිබුණා. ඒ අනුව තමයි ඕල්කට් තුමා මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධුරය බාරගන්න කියලා වුඩ්වඩ් තුමාට දන්වන්නෙ.

    පණ්ඩිත ගුණවර්ධන මැතිතුමාගේ පොතේ සඳහන්වන විදියට වුඩ්වඩ් තුමා පැමිණි දිනයේ එදා මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒකේ විනිසුරුවරයෙක් හැටියට කටයුතු කිරීම තමයි එතුමා විදුහල්පතිවරයා විදියට කරපු පළවැනි කාර්යය කියලා පොතේ සඳහන්ව තිබෙනවා. ඒකෙන්ම තේරෙනවා පොත පත පමණයි අධ්‍යාපනය කියලා එතුමා කල්පනා කරේ නෑ කියලා. තමන්ගෙ ශිෂ්‍යයින් ක්‍රීඩා හා සාහිත්‍ය කටයුතුවලට යොමු කරන්න එතුමා විශාල ප්‍රයත්නයක් දැරුවා.මහින්ද විද්‍යාලයේ අධ්‍යාපන දර්ශනය එතුමා පිහිටුවන ලද මුලික අදහස් මත ගොඩනැගුන එකක්. එතුමාගේ සේවය මහින්ද විද්‍යාලයට පමණක් සීමා උනේ නැහැ. එතුමා ලංකාවේ ජීවත්වුණ අවුරුදු 16ක කාලය තුළ එතුමා ජාතික මෙහෙවරකත් නිරත උනා.

    ඒ කාලේ තමයි ලංකාවේ යුනිවර්සිටි මුමන්ට් කියන ව්‍යාපාරය ආරම්භ උනේ. එදා ප්‍රධාන පෙලේ පුරවැසියන් ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය ද ? කියන සංකල්පයේ ඉන්න කොට අපි විශ්වවිද්‍යාලයක් පිහිටුවන්න ඕන කියලා වුඩ්වඩ්තුමා එක හඬින් ඊට සහභාගි උනා. ඒ සඳහා පුළුවන් තරම් උදව් කළා. ලංකා විශ්වවිද්‍යාලය පිහිටෙව්වුම. ඒ සඳහා අවශ්‍ය නීති සකස් කිරීම වුඩ්වඩ් මැතිතුමා ලංකාවෙන් පිටව ගිහිල්ලත් සහය දුන්නා. ලංකා විශ්වවිද්‍යාලයෙන් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහි උනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි වාර්තා බලන කොට ලංකා විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ත්‍යාගය නම් කරලා තියෙන්නෙ එෆ් එල් වුඩ්වඩ් මැතිතුමාගේ නමින්. ඒ දවස්වල තිබුණ ප්‍රධානම හා එකම විශ්වවිද්‍යාලයේ පාලි භාෂාවේ ත්‍යාගය තමයි මේ වුඩ්වඩ් මැතිතුමාගේ නමින් නම් කර තිබුණේ. වුඩ්වඩ් මැතිතුමා ඒ වනවිටත් ලෝක ප්‍රකට පාලි භාෂා පඬිවරයෙක්.

    මෙතුමාගේ ජීවිතයෙන් අපි ගත යුතු පාඩම් කිහිපයක් අපි දකිනවා. පළමුවැනි එක තමයි එතුමාගේ ප්‍රධානම අභිප්‍රාය උනේ සත්‍යය සොය යන එක. තමන්ගෙ ක්‍රිස්ත්‍රියානි පසුබිම තියෙද්දිත් අනෙකුත් ආගම් පිළිබඳවත් සොයා බලලා තමයි බෞද්ධාගමික පැත්තට යොමු උනේ. මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය කියන්නෙත් ඒ වගේ දෙයක්. මෙහි තිබෙන ප්‍රධාන දෙයක් තමයි නිදහස් චින්තනය. එක්තරා අච්චුවකට වැටෙන්න ඕන කියන සංකල්පයක් මෙහි නැහැ.

    එහෙත් අපි කල්පනා කරලා අපි තීරණයක් ගන්න ඕන මොනවද අපි කරන්න ඕන කියලා. මොන තරම් බාධක තිබුණත් අපි අපේ අරමුණු හඹායන්න ඕන. වුඩ්වඩ් මැතිතුමාට සමහර අවස්ථාවල මහින්ද විද්‍යාලයෙන් අවශ්‍ය සහයෝගය ලැබුණේ නැහැ. නමුත් එතුමා එයින් පසුබට උනේ නැහැ. වුඩ්වඩ් මැතිතුමාටත් ඇතමෙක් නිග්‍රහ කළා. බුදුහාමුදුරුවන්ටත් දේවදත්ත හිටියා. ඒ වගේ ඔබ හොඳක් කරන්න ගියත් සමහර වෙලාවට ඔබට අවමං කරන්න පුළුවන්. නමුත් අපි ඒවායින් සැලෙන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා නම් අපි නිවැරදි දේ කරන්නෙ කියලා, ධෛර්ය අධිෂ්ඨානය අපි ඒ වෙනුවෙන් යෙදවිය යුතුයි.

    ඒ එක්කම මතක තියාගන්න මහින්ද විද්‍යාලය ආරම්භ කිරීමට හේතු උනේ පරම විඥාර්ථ සංගමය. මේ පරම විඥාර්ථ සංගමය ආරම්භ කළේ කවුද අමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා, රුසියානු ජාතික කාන්තාවක් වන බ්ලැවැස්කි මැතිනිය. පිටරට විදේශිකයින්. මහින්ද විද්‍යාලය ළදරු කාලයේ බලාගෙන් ඉහළ තත්ත්වයකට ගෙනාවේ වුඩ්වඩ් මැතිතුමා. ඒත් එංගලන්ත ජාතික විදේශිකයෙක්. ඒ නිසා අලුත් අදහස් විමසා බලද්දි අපි දේශීය ද විදේශීය ද කියලා බලන්න නරකයි. විදේශීය කියලා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ.

    නමුත් මතක තියාගන්න වුඩ්වඩ් මැතිතුමා මහින්ද විද්‍යාලය ස්ථාපනය කරලා එංගලන්තයේ පාසල්වල තියෙන සියලුම දේවල් මහින්ද විද්‍යාලයේ කරන්න උත්සාහ කළේ නැහැ. ලංකාවේ පුතුන් එංගලන්තයේ පුතුන් කරන්න උත්සාහ කළේ නැහැ. එතුමා කළේ එංගලන්තයේ පාසල්වල තියෙන හොඳ ගති ගුණ අරගෙන ලංකාවේ සංස්කෘතියට ලංකාවේ සධාචාරයට ගැලපෙන හරියන දේවල් මහින්ද විද්‍යාලයට ඇතුළත් කරපු එකයි.

    ඒ නිසා අපට ඔබින දේවල් පමණක් අපි පාවිච්චි කරන්න ඕන. වුඩ්වඩ් මැතිතුමා ජාති ආගම් කුල මල භේද එතුමා සැළකිල්ලට ගත්තෙ නැහැ. එතුමා ඒවා ප්‍රතික්ෂේප කළා. එකම මිනිස් ජාතියක් තමයි එතුමා පිළිගත්තෙ. එම නිසා මහින්ද විද්‍යාලයේ අපිත් ඒ මග අනුගමනය කරන්න ඕන. ලංකාව කියන්නෙ කුඩා දූපතක්. මෙහි තිබෙන ජාති ආගම් භේද අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.

    මේ සියලුදෙනා ලාංකික සමාජයක් හැටියට ඉදිරියට යන්න අපි සියලු දෙනා අප විසින් කළ යුතු කාර්යය ඉෂ්ට කරන්න උවමනායි. මම කැමතියි වුඩ්වඩ් මැතිතුමා මහින්ද විද්‍යාලයේ සඟරාවකට ලියපු ලිපයකින් පොඩි කොටසක් කියවා මේ කතාව අවසන් කරන්න.

    මේ ලිපිය තමයි වුඩ්වඩ් මැතිතුමා ලංකාවට එවපු අවසන් ලිපිය. එහි නොයෙකුත් දේවල් තිබෙනවා. අපට ඉතාම වැදගත් දෙයක් එහි තිබෙනවා. (ඉංග්‍රීසි ලිපියේ කොටස කියවයි) මේ ලිපියේ එතුමා කියලා නැහැ දකුණු පළාතට සේවය කරන්න හෝ බස්නාහිර පළාතට සේවය කරන්න කියලා. ලංකාවේ සතර දිග්භාගයට පැතිර ගොස් මහින්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යකු ලෙස ලංකාවට සේවය කරන්න කියලයි එතුමා කියන්නෙ. එතුමාගේ ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරන්න අපි අපේ ධෛර්ය යොදවන්න උවමනායි.

    ඒ සඳහා එක වැදගත් අවශ්‍යතාවක් තිබෙනවා. රටේ සතර කොනට පැතිර ගිහිල්ලා මහින්ද ආදි ශිෂ්‍යන් විදියට සේවය ලබා දෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕන ලංකාවේ සතර කොනේ සිටින ශිෂ්‍යයින් මහින්ද විද්‍යාලයට ආකර්ශනය කරන්න. මම ශිෂ්‍යකුව සිටි කාලයේත් ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් ආපු ශිෂ්‍යන් මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. එය ඉතාම වැදගත්. මහින්ද විද්‍යාලය කියන්නෙ එක්තරා ප්‍රදේශයකට සීමා වූ පාසලක් නෙමෙයි. මහින්ද විද්‍යාලය කියන්නෙ ඉතාමත් ඉහළ මට්ටමේ ජාතික පාසලක්. මහින්ද විද්‍යාලයට ජාතික කාර්යභාරයක් තියෙනවා.

    ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීමේ අවශ්‍යතාව පවා එතුමන්ගෙයි. දැනුත් අපට ඒ අවශ්‍යතාව තියෙනවා. මහින්ද සමාජයේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා ඊට මූලිකත්වය අරගෙන නේවාසිකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් සකස් කරමින් පවතිනවා. ඒ ප්‍රයත්නයට අපිට හැකි පමණින් අපේ සහයෝගය ලබා දිම අවශ්‍යයයි.

    අපේ රටේ සතුර කොනට සේවය කිරීමේ වුඩ්වඩ් මැතිතුමාගේ සිහිනය සැබෑ කිරීමට නම් අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය යහපත් තත්ත්වයකට රැගෙන ආ යුතුයි. අද මෙතන සිටින විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන් මා ආයාචනය කරන්න කැමැතියි මම මෙහි ශිෂ්‍යයකු හැටියට සිටින විට මෙහි ගුරුවරු මට ලබාදුන් අගනා අධ්‍යාපනයටත් වඩා හොඳ අධ්‍යාපනයක් දැන් මේ විදුහලේ සිටින දරුවන්ට ලබා ගැනීම සඳහා ඔබ සියලුදෙනා එකතු වී මහින්ද විද්‍යාලය ජාතිකි තලයේ ප්‍රථම ස්ථානයට ගෙන එන්න කැපවෙයි කියලා විශ්වාස කරනවා යැයි කීවේය.

    මෙම අවස්ථාවට මහින්ද විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවගේ, මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක, උප ලේකම් නීතිඥ ජයරංග ගුණසේකර, මහින්ද සමාජයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කසුන් සූරියආරච්චි, සම ලේකම්වරුන්වන ඉන්දික තිරාණගම, නීතිඥ සහිරු ජාසිංහ මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.