fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ඇතුළෙත් IS ත්‍රස්තයින් ඉන්නවාදැයි විශේෂ කමිටුවකින් විමර්ශනයක්

    රට ඇතුළෙත් IS ත්‍රස්තයින් ඉන්නවාදැයි විශේෂ කමිටුවකින් විමර්ශනයක්

    ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ සිටීද යන්න සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව පොලිස්පති (IGP) දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    මෙම කමිටුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID), රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන්ගෙන් සමන්විත බව කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් අමතමින් පොලිස්පතිවරයා කියා සිටියේ ය.

    ඉන්දියාවේ දී ප්‍රහාරයකට සූදානම් වූ අයිඑස් ත්‍රස්තවාදයට සම්බන්ධ බව කියන ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේ මෙසේ ය.

    “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයත් ඒ වගේම බුද්ධි අංශයත් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධ කරලා කමිටුවක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යන්න. මම සෑම දවසකම ඒ කමිටුව සමඟ සාකච්ඡා පවත්වනවා. දෛනිකව ලැබෙන ප්‍රගතිය පරීක්ෂා කරලා බලලා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ සම්බන්ධව ඉතාම හොඳ සාර්ථක විමර්ශනයක් සිදුවෙනවා. ඒ විමර්ශනය ප්‍රගතිය ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරනවා.”

    ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්ත ලාංකික සැකකරුවන් හතර දෙනා මෙරට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය එක්ක සබඳතා තිබුණා කියලා ඉන්දීය වාර්තාවල තිබුණා ඒක ඇත්තක්ද?

    “එහෙම සදහනක් මාධ්‍යයක සඳහන් වුණා. සම්බන්ධයෙන් මම උපදෙස් දුන්නා පොලිසියේ නීති කොට්ඨාශයට ඒ කොමිෂන් වාර්තාව ඉතාමත් ප්‍රවේශමෙන් පිරික්සලා බලලා අදාළ කරුණු සම්බන්ධව මාව දැනුවත් කරන්න කියලා. හෙට දවසෙදි මට ඒක හම්බවෙයි. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරමු. මොකද හේතුව එහෙම සඳහනක් උනා කියලා ගියත් ඒක තහවුරුවක් වෙලා නෑ. කොමිෂන් වාර්තා පරීක්ෂා කරන්න කියලා අපි නීති අංශයට දන්වලා තියෙනවා.

    ජනතාවට බිය වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සිවිල් ආරක්ෂක කමිටුවලට දැනුවත් කරලා තියෙනවා, මහජනතාව දැනුවත් කරලා තියෙනවා, තමන් ජීවත් වෙන අවට පරිසරය, පදිංචිකරුවන් පිළිබඳ නිරන්තර සෝදිසියෙන් ඉන්න කියලා.

    පටු විදිහට හිතන්නැතුව, රටක් විදිහට ජාතියක් විදිහට කල්පනා කෙරුවොත්, සිංහල දෙමළ මුස්ලිම් කියලා භේදවෙන්නෙ නැතුව පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අපේ උපදෙස් අනුව ක්‍රියා කළොත් අපිට පුළුවන් වෙයි අපේ රට ආරක්ෂා කරගන්න.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.