තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු ඉන්දියාව සමඟ එකතු වෙලා ශ්‍රී ලංකාව කරන්න යන දේ..

    දකුණු ඉන්දියාව සමඟ එකතු වෙලා ශ්‍රී ලංකාව කරන්න යන දේ..

    ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හමුවේ අවධාරණය කරයි.

    ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කරගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දේ.

    නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් විය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් සිටින බව ජනපති එහිදී කීය.

    දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය 8 ගුණයකින් වැඩිවන බවට පුරෝකථනය කර ඇත.

    ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුවේ 7 වන සමුළුව අද සහ හෙට (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වේ.

    ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වන්නේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.

    සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවයි.

    එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

    ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img