රජයට අයත් ගොඩනැගිලි දෙකක් බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා යොදාගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින බන්ධනාගාරවල ඇති ධාරිතාවයට වඩා දෙගුණයක පමණ සැකකරුවන්, සිරකරුවන් පිරිසක් බන්ධනාගාර තුළ රැඳවීමට සිදුව ඇති බැවින් යැයි සඳහන් ය.
දැනට බන්ධනාගාරවල පවතින පහසුකම් අනුව ඉඩ ඇත්තේ 13000ක් පමණක් රැඳවීම සඳහා ය.
නමුත් මේ වනවිට රැඳවූවන් 32000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටිති.
හැඳලි පිහිටි ලාදුරු රෝහලේ ගොඩනැගිලි කිහිපයක් සහ මඩකළපුවේ පැරණි රෝහල් ගොඩනැගිලි මේ සඳහා යොදාගැනීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සළකා බලමින් සිටින බව වාර්තා වේ.
මෙම ගොඩනැගිලි බන්ධනාගාර බවට පරිවර්තනය කරගෙන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති බව ද සඳහන් ය.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ‘යුක්තිය’ විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් ද මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එය සිදු කෙරේ.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දන කර ඔවුන් අත්අඩංගුවට ගනිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම මෙහි අරමුණයි.
මෙම මෙහෙයුම යටතේ මේ වනවිට සැකකරුවන් 838ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
Photo -File photo