තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලීක් වූ තැන හෙළිවෙයි - අයෙක් CID අත්අඩංගුවට

    උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලීක් වූ තැන හෙළිවෙයි – අයෙක් CID අත්අඩංගුවට

    මහත් ආන්දෝලනයට තුඩුදී ඇති අපොස උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු හා දෙවැනි ප්‍රශ්න පත්‍රය පන්නා ඇත්තේ මොරටුව මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන එම ප්‍රශ්න පත්‍රය පිටකළ කාර්යාල සහයකයෙකු අද අත්අඩංගුවට ගත්තේය.

    මොරටුවේ පදිංචිකරුවෙක් වන 38 හැවිරිදි වියේ පසුවන එම කාර්යාල සහයකයා එම විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගේ සහයකයා ලෙස රාජකාරියේ යොදවා සිටි අයෙකි.

    විභාග මධ්‍යස්ථානයට ප්‍රශ්න පත්‍ර ලැබීමෙන් අනතුරුව මෙම කාර්යාල සහයකයා එහි මුද්‍රා කඩා ප්‍රශ්න පත්‍රය පිටතට ගෙන ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය ඔහුට හිතවත් සිසුවෙකුට වට්ස්ඇප්කර ඇති බව විමර්ශනයේදී හෙළීවී ඇත. එම සිසුවා විසින් එම ප්‍රශ්න පත්‍රය තවත් සිසුන් අතර බෙදා හැර ඇති බවත් අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙක් අතට පවා මෙම ප්‍රශ්න පත්‍රය ලැබී ඇත්තේ ඒ ඔස්සේ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ගුරුවරයා තමාට ලද ප්‍රශ්න පත්‍රය සිය අත්අකුරින් පිටපත්කර මුහුණු පොතේ පළකිරීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව අනාවරණය වී තිබේ.

    විමර්ශනයේදී හෙළිවී ඇත්තේ 08 වෙනිදා සිසුන්ට පිළිතුරු ලබාදීමට දුන් කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයත් 10 වෙනිදා ලබාදුන් දෙවැනි ප්‍රශ්න පත්‍රයත් විභාගය පැවැත්වීමට පැය කිහිපයකට පෙර මෙසේ වට්ස් ඇප් මගින් හුවමාරුවී ඇති බවය.

    “ විභාග මධ්‍යස්ථානයන්ට කල්වේලා ඇතිව ප්‍රශ්න පත්‍ර ලැබෙනවා. එසේ ලැබුණු ප්‍රශ්න පත්‍ර කට්ටලයකින් තමයි මෙම ප්‍රශ්න පත්‍ර වල ඡායාරූප අරගෙන තිබෙන්නේ. මෙම සැකකරු මුදල්වලට මෙම ප්‍රශ්න පත්‍රය සිසුවෙකුට ලබාදීල ඇතැයි කියල අපි විශ්වාසකරනවා. ඒ ගැන එම සිසුවාගෙන් දැන්මම අපිට ප්‍රශ්න කරන්න බැහැ. සිසුවා තවම විභාගයට මුහුණ දෙන නිසා. පළමු ප්‍රශ්න පත්‍රය පිටවෙලා තියෙන බව අනාවරණය වුනේ සිසුවෙකුගේ ජංගම දුරකථනයක එය තිබුණු නිසයි. හැබැයි එම ප්‍රශ්න පත්‍රය සිසුන් අතර හුවමාරුවී ඇති බවත් පැහැදිලිවම තවමත් අනාවරණය වී නැහැ. ඒ ගැන විමර්ශන පැවැත්වෙනවා“ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අම්පාරේ ගුරුවරයාට ලැබී ඇත්තේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණක් බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img