සිය දියණියට හා පුතාට තුන්වැනි සැමියා විසින් පහරදෙන බවට මවක් විසින් කළ පැමිණිල්ලක් පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ විභාග වෙමින් තිබියදී ඇගේ දෙවැනි සැමියා විසින් තුන්වෙනි සැමියාට පොලිස් භූමිය තුලදී පේපර් කටර් එකකින් පහරදී තුවාල කර ඇත.
මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 12 වෙනිදා සවස පෑලියගොඩ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය ඉදිරිපිටදීය.
උදරය ප්රදේශයේ කැපුම් තුවාල සිදුවූ තුන්වැනි සැමියා පොලීසියේ මැදිහත්වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණි.
මෙහිදී පොලීසිය දෙවැනි සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 52 හැවිරිදි වියේ පසුවන විශ්රාමික හමුදා සෙබලෙකි. එම සෙබලා කඩවත ඉහළ බියන්විල පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.
මෙම කාන්තාවගේ විවහාක සැමියා කලකට පෙර මියගොස් ඇත. දියණිය හා පුතාව වසර 20ක් පුරා ආදරයෙන් රැකබලාගෙන ඇත්තේ සැමියාගේ මරණින් පසු ඇය දෙවැනි සැමියාවන හමුදා සෙබලාය. නීතියෙන් විවහා වී නැතත් වසර 20ක් පුරා ඔහු විසින් දරුවන් සහ එම කාන්තාව රැකබලාගෙන ඇති බව පොලීසිය කියයි.
මෑතකදී මෙම කාන්තාව සිය දෙවැනි සැමියාව අයින්කර තුන්වැනි සැමියෙක් ළංකරගෙන ඇති බව පොලීසිය කියයි. එම සැමියාට දරුවන්ද සිය අකමැත්ත ප්රකාශකර ඇත. එහිදී ඔහු දරුවන්ට තර්ජනය කිරීමට පටන්ගෙන ඇති බවත් ඇය ඒ ගැන පොලීසියට කළ පැමිණිල්ලක්ද කර තිබී ඇත. එම පැමිණිල්ල විභාග කිරීමට එම කාන්තාවටත් දරුවන්ටත් තෙවැනි සැමියාටත් පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුුම්දී තිබී ඇත්තේ පසුගිය 12 වෙනිදා සවස් කාලයේදීය.
දරුවන්ට සීමිත ආදරයක් දැක්වූ දෙවැනි සැමියාද මෙදින පොලිස් ස්ථානයට පැමිණ ඇත. ඔහු පැමිණ ඇත්තේ පොලීසියේ කැදවීමකට අනුව නොවන බව පොලීසිය කියයි.
මේ දිනවල විවිධ පැමිණිලි අංශයේ ගොඩනැගිල්ල අලුත් වැඩියාවක් සිදුකරමින් පවතී. එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන ස්ථානයේ තිබී පේපර් කටරයක් අතට ගත් දෙවැනි සැමියා විසින් එයින් තෙවැනි සැමියාගේ උදරය කපා ඇති බව පොලීසිය කියයි.
සැකකාර දෙවැනි සැමියා අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය සඳහන් කළේය.