තවත්
    මුල් පිටුවspecialක්‍රීඩා විෂය උසස් පෙළ විෂය නිර්දේශයට ප්‍රධාන විෂයක් ලෙස හඳුන්වා දීම අත්‍යාවශ්‍යය

    ක්‍රීඩා විෂය උසස් පෙළ විෂය නිර්දේශයට ප්‍රධාන විෂයක් ලෙස හඳුන්වා දීම අත්‍යාවශ්‍යය

    ක්‍රීඩා තරගයන්හි ආරම්භය ආගමික පුද පූජාවන්හි එක් අංගයක් ලෙස ආරම්භවී විකාශය වුවද , වර්තමානයේදී මහපරිමාණ ක්‍රීඩා උළෙලයන් බවට ක්‍රීඩා පත්ව ඇත. මේ සඳහා ක්‍රීඩාවේ තරගකාරී ස්වරූපය බෙහෙවින් බලපාන්නනට විය. ක්‍රීඩාව වටා රාජ්‍ය මැදිහත්වීම්, දේශපාලන මැදිහත් වීම් සිදුවන්නට විය.  මේ ආකාරයට ක්‍රීඩාව අද වන විට ලොව පුරා ඩොලර් බිලියන ගණනින් මුදල් උපයන ප්‍රපංචයක් බවට පත්ව ඇත. මේ නිසා ඕනෑම රටක වඩාත් වැදගත් සමාජ ප්‍රපංචයක් බවට ක්‍රීඩාව පත්කර ඇත. නව තාක්‍ෂණය ඔස්සේ ඩිජිටල් කාක්‍ෂණය සමගින් ක්‍රීඩාව පරිවර්තන වී ඇත. මේ නිසා තරගකාරී ලොව සමග ක්‍රීඩාවෙන් ජය ගන්නට ලාංකේය ක්‍රීඩාව වටා එක් වූවන් බොහොමයකි. සෑම පුද්ගලයෙකුම විවිධාකාරයෙන් දායක වනු දක්නට ලැබේ. ඒ සඳහා වන උනන්දුව වැඩි වීමක් දක්නට ඇත.

    තරගකාරී ක්‍රීඩා ලෝකය සමග ගණුදෙනු කිරීමේදී අප සතුවිය යුතු ප්‍රබල අවිය විය යුත්තේ ක්‍රීඩාව පිළිබඳ ඇති අධ්‍යාපනයයි. ක්‍රීඩා පහසුකම් තිබූ පමණින්, ක්‍රීඩාව සඳහා විශාල මුදලක් වැය කිරීම මගින් හෝ ක්‍රීඩාවන් සඳහා ජාත්‍යන්තර පුහුණුවීම් ලබා දීම යනාදී සුඛෝපභෝගී ක්‍රීඩා පහසුකම් ලබා දීම හෝ ඒ සඳහා අවස්ථාව ලබා දීමෙන් පමණක් ක්‍රීඩාවෙන් අපේක්‍ක්‍ෂිත තරගකාරී ලෝකය සමග සම්බන්ධවීම කෙටි කාලීන සහ සු`ඵතරයක් වෙනුවෙන් සිදු කරන ආයෝජනයකි. ලාංකේය ක්‍රීඩාව සඳහා වන දිගු කාලීන ආයෝජනයක් බලාපොරොත්තු වන්නේ නම් ක්‍රීඩාව සඳහා වැය කරන මුදලින් වැඩි කොටසක් ක්‍රීඩා අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා වෙන් කළ යුතු බව අවධාරනය කරමි.

    තරගකාරී ක්‍රීඩා ලෝකය සමඟ තවමත්  ශ්‍රී ලංකාව පසු බසිමින් සිටින්නේ දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති නිසා නොව. දක්‍ෂයන් හඳුනා ගැනීම වෙනුවෙන් සිදු කරන වැඩසටහන් ගුණාත්මක නොවීම, දිගු කාලීන අරමුණු සඳහා කෙටි කාලීන විසඳුම් අපේක්‍ෂා කිරීම, ක්‍රීඩාව සඳහා අවශ්‍ය දැනුම යාවත්කාලීන නොකිරීම සහ විධිමත් ක්‍රීඩා පරිපාලනයක් සිදු කිරීමට අවශ්‍ය වන මානව සම්පත යොදා නොගැනීම මූලිකවම සඳහන් කළ යුතුය. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙටි කාලයකදී විවිධ ආබාධයන්ට ලක් වීම දක්නට ලැබේ. ජාතික කණ්ඩායම් බොහොමයක ක්‍රීඩක ක්‍රිඩිකාවන් කුමන ආකාරයෙන් ආබාධයන්ට ක්‍රීඩා කිරීම නිසා පත්ව ඇති අවස්ථා ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ ඕනෑ තරම්ය. මේ සඳහා විශේෂයෙන් ඔවුන්ගේ පුහුණුකරුවන් වෙත විශාල වගකීමක් පැවරෙනු ඇත. මෙවැනි තත්වයන්ගෙන් ලාංකේය ක්‍රීඩාව ආරක්‍ෂා කර ගනිමින්, තරගකාරී ක්‍රීඩාවෙන් අපේක්‍ෂිත  ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණයන් වෙත යාම සඳහා ලාංකේය ක්‍රීඩාව දැනුමින් පෝෂණය කිරීම අත්‍යාවශ්‍යව පවතී.  

    මේ සඳහා පාසල් මට්ටමින් ක්‍රීඩා දැනුම පෝෂණය කිරීම පළමුව ආරම්භ කළ යුතුව ඇත. ලාංකේය පාසල් අධ්‍යාපනය තුල, තරගකාරී ක්‍රීඩා තරග පැවැත් වුවද, ඒ සඳහා වන න්‍යායාත්මක අවබෝධය ලබා දීමට අවශ්‍ය අධ්‍යාපන සැකැස්ම තවමත් නොමැත. මේ නිසා ක්‍රීඩා තරග වැඩසටහන් පමණක් නොව, පාසල් අධ්‍යාපනයේ සිට ක්‍රීඩා දැනුම ලබා දීම සඳහා අවශ්‍ය විෂය නිර්දේශයන් හඳුන්වාදිය යුතුය ඇත. ඒ තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව අනාගතයේ ලාංකේය ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය වන ප්‍රවීණයන්, විශේෂඥ දැනුමින් පෝෂණයවූ නිලධාරීන්, පර්යේෂකයන්, ව්‍යවසායකයන්, බිහිවීම විධිමත් ආකාරයෙන් සිදු වනු ඇත. නමුත් එවැනි විධිමත් යාන්ත්‍රණයක් තුළින් ලාංකේය මානව සම්පත පෝෂණය නොකිරීම නිසා ජාත්‍යන්තර පාඨමාලාවන් සඳහා විශාල මුදලක් වැය කරමින් ක්‍රීඩා වෘත්තිකයන් සකස් කළ යුතුව ඇත. ප්‍රවීණයන් සොයා විදේශිකයන්ගේ සරණ පතන්නට බොහෝ ක්‍රීඩා බලධාරීන් වෙහෙසෙනු ඇත.

    නමුත් ප්‍රමාද වී හෝ මෙම තත්වයන් නිවැරදි කර ගත යුතුය. යථාර්තය අවබෝධ කර ගෙන ක්‍රියා කළ යුතුව ඇත. මේ නිසා ක්‍රීඩා අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය්‍ය විෂයක් දක්වා ඇතුළත් කිරීම වෙනුවෙන් විෂයමාලා සංශෝධනයන් සිදු කිරීම කළ යුතුව ඇති අතර උසස් පෙළ විෂය ධාරාව යටතේ ක්‍රීඩා විෂයක් ඇතුළත් කිරීම අනිවාර්ය්‍යයෙන් සිදු කළ යුතුව පවතී. පාසල් ජීවිතයේ විශාල වශයෙන් ක්‍රීඩාවට කැපවෙන දරුවන් සඳහා ක්‍රීඩාව පිළිබඳ විෂයක් උසස් පෙළ අධ්‍යාපනය තුළ නොමැති වීම පාසල් දරුවන් සඳහා සිදු කරන බලවත් අසාධාරනයකි. ක්‍රීඩාව සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතී. දිනෙන් දින නව්‍යකරණයන්ට ලක්වෙමින් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත වනු ඇත. මේ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පමණක් නොව බොහෝ පාසල් දරුවන් ක්‍රීඩාව වෙනුවෙන් තම කැපකිරීම් සිදු කළ ද ඔවුන් වෙනුවෙන් මේ දක්වා රැකවරණයන් පාසල් අධ්‍යාපනය තුළින් වත් නොලැබීම කණගාටුවට කරුණකි. මේ නිසා ක්‍රීඩා අධ්‍යාපනයෙන් ලාංකේය ක්‍රීඩාව පෝෂණය කිරීමට අවැසි වේදිකාව නිර්මාණය පාසල් අධ්‍යාපනය තුල විධිමත් ආකාරයට සකස් කිරීම මඟින් හැකියාව ලැබෙනු ඇති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

    අනෝමා රත්නායක

    B.A., M.S.Sc., (Kel’ya), M.S.Sc. (Seoul National University, South Korea) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කී‍්‍රඩා විද්‍යා සහ ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශය සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    අනෝමා රත්නායක
    අනෝමා රත්නායක
    B.A., M.S.Sc., (Kel’ya), M.S.Sc. (Seoul National University, South Korea) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කී‍්‍රඩා විද්‍යා සහ ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශය සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img