Home උණුසුම් පුවත් මිජවුම් ඉන්දියාව දෙසට -අද හවසත් වැසි

මිජවුම් ඉන්දියාව දෙසට -අද හවසත් වැසි

මිජවුම් ඉන්දියාව දෙසට -අද හවසත් වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් (MICHAUNG) සුළි කුණාටුව, තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව ඊයේ රාත්‍රි වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365 ක් පමණ ඊසාන දෙසින් පැවතුනි.

එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර 2023 හෙට(05) දින වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩ බිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රාකිරීම අවදානම් බැවින් නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස සහ සෙසු මුහුදු ප්‍රදේශවල අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි. මී. (60-70) දක්වා වැඩි විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here