දැනට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද සෞඛ්‍ය සහ ඊට අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බවත් යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට පළමුව තමන් වෙත සෘජුවම දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා කියාසිටියේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.