පාසලක සිනමා සංගමයක් බිහිකරන මට්ටමටවත් වැඩ කටයුතු සම්පාදනය කළොත් ඒ තුළින් මිනිස්සු බිහිවේවි යැයි ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිත් සියපත් 2023 කලා මංගල්‍යයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් හෙතම ඊයේ(30) ඕල්කට් ශාලාවේදී මේ බව ප්‍රකාශ කළේය.
එදා අධ්‍යාපනය සමඟ ජීවිතය ඉගැන්වූ බව කී ජයන්ත චන්ද්‍රසිරි මහතා, අද තරම් හැත්තෑව දශකයේ අධ්‍යාපනය පිරිහී නොතිබුණු බව කියා සිටියේය.
සිත් සියපත් කලා උළෙලට රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් මහතා ද විශේෂ ආරාධිතයෙක් ලෙස එක්ව දේශනයක් පැවැත්වීය. මෙවර මහින්ද විද්‍යාලයීය කලා මංගල්‍යයේ තේමාව වූයේ සිනමාවයි.
ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙසේ ද පැවසීය.
“අද වෙනකොට දකුණු කොරියාවේ ජනගහනයට වඩා වැඩියි දකුණු කොරියාවේ චිත්‍රපට නරඹන සංඛ්‍යාව. ඔවුන්ට සිනමාව සම්බන්ධයෙන් රට ඇතුළෙම හොඳ වෙළඳපොලක් තියෙනවා. පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් මෙන්ම සිනමා වෘතිකයන් බිහි කරන තැනක් බවට දකුණු කොරියාව පත්ව තිබෙනවා. දැන් මේ තත්ත්වය හැත්තෑ ගණන්වල අපේ රටෙත් තිබුණා. හැත්තෑව දශකය ගැන අද දරුවන්ට මතක නැහැ. ඒත් වැඩිහිටියන්ට මතක ඇති. හැත්තෑව දශකය කියන්නෙ කැරැල්ලක් සිදුවුණු කාලයක් විතරක් නෙමෙයි විශාල ආහාර දුර්භික්ෂයක් තිබුණු කාලයක්. එදා අපට ආහාර නැහැ.
පාන් පෝලිමේ ලැබෙන්නෙ පාන් කාලයි. ඇති වුණත් මදි වුණත් පාන් කාලයි එක්කෙනෙකුට දෙන්නෙ. ඒ කාල අරන් ඇවිල්ලා කාලා තමයි ඉස්කෝලේ යන්න ඕන. හාල් පාරේ ගෙනියන්න තහනම්. සතියකට දවස් තුනක් බත් උයන්නෙ නෑ ගෙවල්වල. ඒ කියන්නෙ තහනම්. එහෙම අතිශය දුෂ්කරතා තිබිය දී ත් 1979 වෙනකොට ලංකාවේ ජනගහනයට වඩා වැඩියි ලංකාවේ චිත්‍රපට නරඹන සංඛ්‍යාව. කොරියාවේ තත්ත්වෙ එදා ලංකාව. එක මනුස්සයා චිත්‍රපටය තුන් හතර වතාවක් බලනවා.
එදා ගීත අහන්න ලැබුණෙ ගුවන් විදුලියෙන්. එදා හොඳ නාට්‍ය බලන්න, හොඳ නවකතා කියවන්න ලැබුණා. අද බලන්න රූපවාහිනියේ, ගායන තරගවල තවම දිනන්නෙ අර හැත්තෑව දශකයේ සිංදු කියලා. එහෙත් එදාත් රටේ ආර්ථිකය ඉතා පහළට වැටුණු දුෂ්කර කාලවකවානුවක්.නමුත් කලාව උඩ ගියා.එතනින් තේරෙනවා දරිද්‍රතාවයි කලාවයි අතර සම්බන්ධයක් නැහැ.
රසාඥතාව හා අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි එතන තියෙන්නෙ. ඇත්තවශයෙන්ම එදා අධ්‍යාපනයේ මේ තරම් පිරිහීමක් තිබුණේ නැහැ. එදා අධ්‍යාපනය එක්ක ජීවිතයත් ඉගැන්නුවා. ඒ ජීවිතය උගන්වන්න කලාව සිනමාව විශාල පිටුබලයක් උනා.ඒ විතරක් නෙමෙයි එදා සිනමාව හොඳ ආර්ථිකයක් ඇති කළා. ඒ සිනමා ශීල්පීන් හොඳ ආර්ථික හැකියාවක් ඇතිව ජීවත් උනා. හොඳ ආදායම් ඉපැද්දුවා.
මම කියන්නෙ අද මේ ප්‍රවණතාව ඉතාම හොඳ එකක්.වඩා සංවිදිතව මේ කාරණාව පාසල් විෂය මාලාවට ඇතුළත් කළොත් හා පාසල් දරුවන්ටත් මේ පිළිබඳ ඥානය සම්පාදනය කරන්න අවස්ථාව දුන්නොත් අඩුම තරමේ පාසලක සිනමා සංගමයක් බිහිකරන මට්ටමටවත් වැඩ කටයුතු සම්පාදනය කළොත් ඒ තුළින් මිනිස්සු බිහිවේවි. වැදගත් සිනමාවට උවමනා කරන වැදගත් වෘතිකයන් බිහිවේවි.ඔවුන් අනාගතයට වැදගත් කෘති දායාද කරයි. අපට මගහැරපු විෂයක් පිළිබඳව මෙම උනන්දුව ඇතිවිම ගැන මම සතුටට පත්වෙනවා. මෙහි ගැඹුර අවබෝධ කරගත්තොත් කලාව කියන්නෙ විශාල වෙළඳපොළක්. අපට විතරක් නෙමෙයි පිටරටටත් ඒ වෙළඳපොල විහිදී යනවා.දැනටත් අපි ලෝකෙට ගිහිල්ලා තියෙන මාධ්‍ය දෙකයි තියෙන්නෙ. එකක් ක්‍රිකට්. ක්‍රිකට් නිසා තමයි ලංකාව දැනගත්තෙ. මම කියන්නෙ ඊයෙ පෙරේදා ක්‍රිකට් නෙමෙයි. අනෙක සිනමාව. අපේ සිනමාව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. හැබැයි ක්‍රිකට්වලට තියෙන තැන සිනමාවට හම්බුණේ නැහැ. හැබැයි ඒ නිසා අද මේ ගන්න උත්සාහය මනරම් දෙයක්.” යැයි ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.
මෙම අවස්ථාවට මහින්ද විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවගේ, කලා අංශය භාර ආචාර්යවරුන්, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ආචාර්යවරුන්, ආරාධිත පාසල් ගුරුභවතුන් හා සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ.













