තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF දෙවන වාරිකයට තවත් දොරක් ඇරේ

    IMF දෙවන වාරිකයට තවත් දොරක් ඇරේ

    මෙරටට ඇති විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිල ණය හිමි කමිටුව (OCC) සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ තිබේ.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) වැඩසටහනේ දක්වා ඇති කොන්දේසිවලට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍ය සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව නිල ණයහිමි කමිටුව තහවුරු කර ඇත.

    රටවල් 17ක් විධිමත් ලෙස පිහිටුවන ලද එම කමිටුව විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගය සඳහා ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වන බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද කියාසිටී. “ශ්‍රි ලංකාව සියළුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගීතාවට කෘතඥ වන අතර නිල ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයකි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදය විසඳීමේ ප්‍රධාන පියවරකි. මීට පෙර චින එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පලකළා. නිල ණයහිමි කමිටුවේ එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාර්කය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇතිකරන අතර එමගින් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබේ. මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන තවත් වැදගත් සංධිස්ථානයකි. තවදුරටත් ශ්‍රි ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසාර ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී.ශ්‍රී ලංකාව සිය මූල්‍ය උපදේශකයින් මගින් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයකට පැමිණීම සඳහා බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත.”

    පැරිස් සමාජයේ සභාපතිත්වයට අනුකූලව මෙම කමිටුවේ සම-සභාපතිත්වය දරන්නේ ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුද‍ලේ (IMF) අතර විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානයට අනුකූල වන ණය ප්‍රතිකාරයක ප්‍රධාන පරාමිතීන් පිළිබඳව OCC සහ ශ්‍රී ලංකාව විසින් මෙහිදී එකඟත්වයට පත්විය.

    මෙම ගිවිසුම මගින් IMF කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ EFF විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය IMF විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සහ දෙවන වාරිකය අනුමත කිරීම සඳහා මාර්ගය විවෘත කිරීමට ඉඩ සලසයි.

    තම රට තිරසාර මාවතකට නැවත පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දරන අඛණ්ඩ උත්සාහයන් සඳහා OCC කමිටුව ප්‍රශංසා කර ඇත.

    ඉදිරි සතිවලදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අවබෝධතා ගිවිසුමක් තුළ මෙම ගිවිසුම විධිමත් කිරීමට එම කමිටුව බලාපොරොත්තු වේ.

    අනෙකුත් ද්විපාර්ශ්වික ණයහිමියන් ඔවුන්ගේම ද්විපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් ණය විසඳුම්වල සංසන්දනාත්මකභාවය ඇගයීමට එම කමිටුවට අවශ්‍ය තොරතුරු විනිවිදභාවයෙන් යුතුව බෙදා ගැනීමට එකඟ වනු ඇතැයි OCC කමිටුව අපේක්ෂා කරයි.

    OCC කමිටුව විසින් පිරිනමනු ලබන කොන්දේසි තරම් හිතකර කොන්දේසි පිළිබඳ ගිවිසුමක් හැකි ඉක්මනින් සොයා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ පුද්ගලික ණය හිමියන් සමඟ දිගටම කටයුතු කරනු ඇතැයි අදාළ කමිටුව අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත ණය ප්‍රතිකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පරාමිතිවලට අනුකූල බව මෙම පියවර මගින් සහතික කරනු ඇති බව ද එම කමිටුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img