ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා පැවසීය.
චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ඊයේ (19) පෙරවරුවේ බීජිං නුවරදී සිදු වූ සාකච්ඡා අතරතුර චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇඟයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවට ද මෙහිදී චීන මුදල් අමාත්‍යවරයා සහතික විය.
එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.
චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආර්ථික අර්බුදයෙන් යළි නැඟිසිටීමේ අභියෝගාත්මක කාර්යයේදී චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය ඉතා අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය.
රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී කරුණු පැහැදිළි කෙරිණි.