Home උණුසුම් පුවත් දඩුගම ඔයේ බෑගයක පාවුණු මළ සිරුරේ අභිරහස විසදුණු හැටි

දඩුගම ඔයේ බෑගයක පාවුණු මළ සිරුරේ අභිරහස විසදුණු හැටි

0
දඩුගම ඔයේ බෑගයක පාවුණු මළ සිරුරේ අභිරහස විසදුණු හැටි

මරා දැමුණු පුද්ගලයෙකුගේ සිරුරක් බහා තිබුණු ගමන් බෑගයක් දඩුගං ඔයේ පාවෙමින් තිබියදී සීදූව පොලීසියට හමුවන්නේ පසුගිය 15 වෙනිදාය. ඒ මෙම බෑගයෙන් අධික දුගදක් හමන බවට ගම්වැසියන් විසින් ලබාදුන් තොරතුරකට අනුවය.

සිරුරේ පහරදීම් සලකුණු රැසක් දක්නට වූ බැවින් බැලූ බැල්මට පෙනී ගියේ එය මිනිස් ඝාතනයක් බවය.

මෙම මළ සිරුර කාගේ දැයි පැයි 24න් යන්නට මත්තෙන් සොයාගැනීමට සීදූව පොලීසිය සමත්විය. ඊට අනුව එසේ ඝාතනය වී සිටියේ මහවැව, කුඩාවැව පදිංචිකරුවකේ ව සුසන්ත රංජන් රණසිංහ (36) නැමැති පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ගැන සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඔහු රට රැකියා සඳහා යවන බව සඳහන්කරමින් පුද්ගලයින්ගෙන් මුදල් රැගෙන වංචාකර කට්ටි පනිමින් සිටින පුද්ගලයෙක් බවය. ඒ අනුව පොලීසියට විමර්ශන ආරම්භයේදීම සැකකරන්නට වූයේ මෙම පුද්ගලයාව මරා දමන්නට ඇත්තේ ඔහුගේ වංචාවට හසුවී ඇති යම් අයෙක් හෝ පිරිසක් එක්ව බවය.

එය සැබෑවක් බවට පත්වෙමින් සීදූව පොලීසිය මෙම ඝාතනයේ සැකකරුවන් සියළු දෙනාම අත්අඩංගුවට ගත්තේ අද (19) ය.

දීර්ඝ විමර්ශණයකින් අනතුරුව පොලීසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ගණන 06කි. ඒ අය අතර අවන්හල් හිමිකරුවෙක් වන පියෙක් සහ පුතුන් දෙදෙනෙක්ද අවන්හලේ සේවකයින් තිදෙනෙක්ද සිටින බව සීදූව පොලීසිය කියයි.

අවන්හල් හිමිකරුගේ පුතුන් දෙදෙනා ජපානයේ රැකියාවක් සඳහා යවන බව සඳහන්කරමින් රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් ලබාගෙන එම මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ඔහුව ඝාතනය කිරීම දක්වා දුරදිග ගොස් ඇති බව පොලීසිය කියයි.

කට්ටි පනිමින් සිටි ඝාතනයට ලක්වූ පුද්ගලයාව මේ අයට හමුවන්නේ පසුගිය 11 වෙනිදාය. ඒ පිටකොටුවේදීය. මෝටර් රථයක ඔහුව දමාගෙන කටානේ පිහිටි අවන්හල් හිමිකරුගේ පොල් වත්තකට රැගෙන විත් පහරදී ගෙල මිරිකා මරා දමා ඇති බව පොලීසිය කියයි. අනතුරුව මළ සිරුර ගමන් මල්ලෙහි දමා දඩුගං ඔයට දමා ඇත්තේද මෝටර් රථයේම දමාගෙන පැමිණය. ඒ 11 වෙනිදාමය. මළ සිරුර ඔයට දමා ඇත්තේ කොටුගොඩ ප්‍රදේශයෙනි.

අත්අඩංගුවටගත් අවන්හල් හිමිකරු අවුරුදු 50ක් වයසැති ඔවුන්ගේ පුතුන් දෙදෙනා අවුරුදු 23 හා 25 යන වයස්වල පසුවන්නන්ය.

සෙසු සැකකරුවන් පොලොන්නරුව, මහනුවර සහ පුහුල්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here