මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදුකොට, ඒ සඳහා පත්කළ කණ්ඩායමේ වාර්තාව ලද පසුව ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවත් ජනාධිපතිවරයා කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (18) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.
ආරක්ෂක හමුදාවන්ගේ සුබසාධනය සහ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබෙන බවත් හෙතෙම කීය.
ඒ පිළිබඳ මෙම නව ජාතික ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
“දැන් යුද්ධය අවසන්ව වසර 14ක් ගතවී තිබෙනවා. දැන් අප වර්තමානය සහ අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
අද අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ 2009 හෝ 1983 පැවති තත්ත්වයට නොවෙයි. අද ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ තිබෙනවා. එක පසෙකින් පැසිෆික් සාගරයේ ඇමරිකාවත්, චීනයත් අතර බල අරගලයක් තිබෙනවා. අනෙක් පසින් යුක්‍රේනය සහ බටහිර රුසියාව අතර බල අරගලයක් තිබෙනවා. එම බල අරගලය අපේ හමුදාව සේවය කරන මාලි රටේ අසල්වාසි රට වන අප්‍රිකාවේ නයිජර් රටටත් පැමිණ තිබෙනවා.
ඉන්දියන් සාගරයේ තමයි ලෝකයේ වැදගත්ම වෙළෙඳ මාර්ගය පිහිටා තිබෙන්නේ. ශ්‍රී ලංකාව එහි වැදගත් ස්ථානයක් ගන්නවා. අප මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ඉදිරියට යා යුතුයි. එහිදී අපේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
විශේෂයෙන් අභ්‍යන්තර තර්ජන එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම්වලින් තමයි බොහෝ රටවලට අභ්‍යන්තර තර්ජන එල්ල වන්නේ. මේ සඳහාත් අප සූදානම් විය යුතුයි. අද ලෝක දේශපාලනයට අප සම්බන්ධ වී සිටිනවා. අප කැමති වුණත්, අකමැති වුණත් අප ඒ පිළිබඳ සිතිය යුතුයි.
එසේ නම් මෙරට අනාගත ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. යුරෝපයේ සෑම රටක්ම වසර පහෙන් පහට හෝ දහයෙන් දහයට එවැනි සමාලෝචනයක් සිදු කරනවා. රටට තිබෙන තර්ජන කුමක්ද, රටට ඇති සම්පත් කෙසේද සහ ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ සමාලෝචනයක් ඔවුන් සිදු කරනවා. ඒ අනුව තමන්ගේ හමුදා බලයත්, ආර්ථික ශක්තියත් සංසදනය කරමින් තීන්දු තීරණ ගනු ලබනවා.අපත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
අද ඩෝනර් වැනි නවීන තාක්ෂණික උපකරණ විශාල වශයෙන් පවතිනවා. ඉන්දියන් සාගරයේ සබ්මැරින් යාත්‍රා භාවිතය වැඩි වී තිබෙනවා. එසේනම් අපේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීන් යාත්‍රා පාලනය කරන වැඩසටහනක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අනාගතයේ දී ගුවන් යානා ද ඩෝනර් ද ක්‍රියාත්මක වන්නේ කියා අපට කිව නොහැකියි. අදට වඩා වැඩි තාක්ෂණයක් ඉදිරියේ දී භාවිතා කළ යුතු වෙනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් සීග්‍ර වර්ධනයකට යා හැකි නම් ඒ සදහා අවශ්‍ය මුදල් වැය කළ හැකියි. දුප්පත් රාජ්‍යයක් ලෙස අපට මෙම කටයුතු කිරීම අසීරුයි. අතීතතයේ සිට අනාගත අභියෝගවලට මුහුණ දෙන්න බැහැ.
ඒ නිසා මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නව ආර්ථික ප්‍රවනතා, දේශගුණික විපර්යාස යන මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමාලෝචන වාර්තාව සකස් කළ යුතුයි. එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂා කරනවා.
Defense 2030 මෙම වාර්තාව සැකසීම සදහා අවශ්‍ය සමාලෝචන කණ්ඩායම හිටපු මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පත් කර තිබෙනවා. එම වැඩකටයුතු සඳහා වෙනම කාර්යාලයකුත් ඇති කර තිබෙනවා.
අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකියි. එසේම එය මුදල්වලට පමණක් සීමා කරන්න බැහැ. ඒ වගේම ඔබේ සුබසාධන කටයුතු පිළිබඳවත් හමුදා සේවයෙන් පසු ඔබේ අනාගතය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ කැපවීම අප අගය කරනවා ඒ පිළිබඳව ද මෙම නව ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට මම අපේක්ෂා කරනවා.”





