බම්බලපිටිය ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් පිරිසක් සම්බන්ධ බව කියන වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේදී ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව වෙඩි තබන ලද පුද්ගලයින් ඔවුන් පැමිණි වෑන් රථයකින් පලාගොස් ඇත.
එලෙස ඔවුන් පලායමින් සිටියදී වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් එම රථය නවතා පරීක්ෂා කර එහි සිටි සැකකරුවන් 4දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
එම සැකකරුවන්ගෙන් එක් අයෙකු සුරාබදු පරීක්ෂකවරයෙකු ලෙසත්, අනෙක් තිදෙනා සුරාබදු නිලධාරීන් බවට හඳුනාගෙන ඇතැයි සඳහන් ය.
එම වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, වෙඩි තැබීමට භාවිත කළ බවට සැක කරන සුරාබදු පරීක්ෂකවරයාට අයත් පිස්තෝල අවිය ද භාරයට ගෙන ඇති බව සඳහන් ය.