ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සව අවස්ථාවේ ශ්‍රී ලංකා ජාතික ගීය වෙනස් කොට ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ජාතික ගීය වෙනස් කිරිම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන් රංජිත් මහතා අද (31) පස්වරුවේ සඳහන් කළේය.
ඒ අනුව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඊයේ (30) රාත්‍රි පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී උමාරියා සිංහවංශ විසින් ගායනා කරනා ලද ජාතික ගීය සම්බන්ධයෙන් මෙලෙස කඩිනම් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත.
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ජාත්‍යන්තර අවධානය යොමුවන වැඩසටහනක දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කණගාටුවට කරුණක් බව අමාත්‍යාංශ ලේකම් වරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ සංවාදයක් ද ඇතිව ඇති අතර, ශ්‍රී ලංකා මාතා වෙනුවට අදාළ ගායනයේ දී ශ්‍රී ලංකා මහතා යනුවෙන් ශබ්ද නැගෙන බවටද විවිධ පාර්ශව විවේචන එල්ල කර තිබේ. කෙසේ වෙතත් අදාළ ගායනය ඔපෙරා සංගීත යට අදාළව සිදුකළ එකක් නිසා එවැනි තත්ත්වයක් මතුව තිබෙන බවට ද විවිධ අදහස් පළවෙයි.
ගායන ශිල්පිනියගේ සුවිශේෂී හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදාළ ගායනය ඉදිරිපත් කරන කාන්තාවට සාධාරණයක් ඉටු විය යුතු බවටත් ඇතමෙක් මත පළ කරති.