තවත්
    මුල් පිටුවspecialරිහානා බෙල්ලේ දාගෙන ආ කෝටි 21ක් වටින ඔරලෝසු මාලය

    රිහානා බෙල්ලේ දාගෙන ආ කෝටි 21ක් වටින ඔරලෝසු මාලය

    අමුතු විදියේ විලාසිතා ඉදිරිපත් කිරීමට කවදත් නිර්භීත ලෝ සුපතල ගායිකාවක වන රිහානා පසුගියදා පැරිසියේ පැවති ලුවි විටන් සුපිරි විලාසිතා දැක්මේදී අමුතු ආභරණයක් පැළඳ පැමිණීමෙන් ලෝකයට නව පළඳනාවක් එක් කිරීමට සමත් වී තිබේ.

    ඇය දියමන්ති ඇල්ලූ සුදු රත්රනින් නිමවන ලද අධික මිලැති ඔරලෝසු කරපටි මාලයක් (Watch Choker) පැළඳ පැමිණීම ලොව පුරා කාගේත් අවධානයට ලක්ව ඇත.

    ලුවී විටන් නමැති ප්‍රංශ සුඛෝපභෝගී විලාසිතා සමාගම විසින් ඉදිරිපත් කරන ලද වසන්ත-ගිම්හාන 2024 එකතුව එළිදැක්වීම පසුගිය 20 වන දින පැරිසියේ පොන්ට්-නියුෆ් හිදී පැවත්විණ.

    ඊට සහභාගි වූ රිහානා ඒ වෙනුවෙන්ම මෙම ඔරලෝසු කරපටි මාලය නිර්මාණය කරවාගෙන තිබුණේ Jacob & Co සුපිරි ඔරලෝසු සමාගමෙනි.

    “බෙල්ලේ ඔරලෝසුවක් පළඳින පළමු අවස්ථාව මෙයයි” යනුවෙන් මේ පිළිබඳ නිවේදනය කරමින් ජේකොබ් සමාගම පවසයි.

    දියමන්ති 368 කින් සමන්විත මිලිමීටර් 47 සුදු රන්වලින් නිර්මාණය කරන ලද ජේකොබ් සමාගමේ පෙර සිට පැවති Brilliant Flying Tourbillon අත්ඔර‍ලෝසුවේ මුහුණත මෙම කරපටි මාලය සඳහා ප්‍රතිනිර්මාණය කර ඇත.

    මෙම නව ඔරලෝසු කරපටි මාලයේ සිල්ලර මිල ඩොලර් 700,000ක් බව එම සමාගම කියයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිඑක්කෝටි හතළිස්අට ලක්ෂයකට අධික (රු.214,816,420ක් පමණ) වේ.

    රිහානා ලුවි විටන් විලාසිතා දැක්මට සහභාගී වීමට සූදානම් වෙමින් සිටියදී, ඇය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් ඔරලෝසුවක් පැළඳීමට තීරණ කර තිබූ බව ජේකබ් සමාගම පවසයි.

    පසුගිය දශකයක කාලයක් තිස්සේ එම සමාගමෙන් තමන්ගේ ඔරලෝසු නිර්මාණය කරගන්නා සහ මිලදී ගන්නා රිහානා එහි පැමිණි පසු Brilliant Flying Tourbillon ඔරලෝසු එකතුව දැක තිබේ. ඇය ඒ අනුව සිය කරපටි මාලය සකසන ලෙසට සමාගමෙන් කළ ඉල්ලීම එම සමාගම පිළිගෙන ඊට වටිනා සම් පටියක් එක්කොට මෙම නව කරපටි මාලය සැකසූ බව සමාගම පවසයි.

    The Brilliant Flying Tourbillon collection

    කෙසේනමුත් දැන් ඕනෑම අයකුට ඩොලර් ලක්ෂ 7කට මෙම ඔරලෝසු කරපටි මාලය මිලදී ගැනීමට හැකි බව ජේකබ් සමාගම නිවේදනය කරයි.

    චෝකර් හෙවත් කරපටි මාලයක් යනු පුද්ගලයෙකුගේ ගෙලෙහි තරමක් ඉහළින් ගෙලට සවි වී ඇති ලෙසට පෙනන පරිදි පළඳින මාලයකි.

    මෙවැනි කරපටි මාල වර්තමානයේ විවිධ ආකාරයෙන් ඉහළ විලාසිතාවක් ලෙස පැළඳියද, ඉතිහාසයේදී මෙවැනි මාල පළඳින ලද්දේ ගණිකා වෘත්තියට සම්බන්ධ කාන්තාවන් බවට ද ඇතැම් වාර්තාවල දැක්වේ.

    කෙසේවෙතත් ඔරලෝසුවකින් සිදුවන්නේ වෙලාව බලාගැනීම වන නමුත්, ඩොලර් ලක්ෂ ගණනක් වටිනා මෙම ඔරලෝසු කරපටි මාලයෙන්, සංවේදකයක් ඔස්සේ වේලාව හඬක් මගින් ඉදිරිපත් කරන තාක්ෂණය ඇතුළත් නොවේ නම්, එමගින් වෙලාව බලාගැනීමට රිහානාට සෙල්ෆි කැමරාව භාවිත කිරීමට සිදුවනු ඇත.

    Jacob & Co. යනු දියමන්ති නිර්මාණකරුවෙකු විසින් 1986 දී ආරම්භ කරන ලද ස්වර්ණාභරණ සහ සුපිරි අත්ඔරලෝසු නිෂ්පාදන සමාගමකි.

    1854 දී ආරම්භ කරන ලද Louis Vuitton යනු ප්‍රංශ සුඛෝපභෝගී විලාසිතා සන්නාමයකි.

    රිහානා, බාබඩෝස්හි ඉපදී ලොව පුරා ගායිකාවක්, නිළියක් සහ ව්‍යාපාරික කාන්තාවක් ලෙස ජනප්‍රියට පත්වූ කාන්තාවකි. ඇය විලාසිතා ලෝකයේ පෙරළිකාර විලාසිතා කරන්නියක ලෙස කවදත් ප්‍රකට ය. ඇයගේ ව්‍යාපාර අතර සුපිරි ඇඟලුම් නිෂ්පාදනය ද සිදුකරන අතර ඇයගේ එක් ක්‍රීඩා ඇඟලුම් සන්නාමයක් යටතේ ඇඟලුම් නිෂ්පාදනයක් මෙරට තුළ කර්මාන්තශාලාවකින් ද නිෂ්පාදනය කෙරේ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img