ටයිටැනික් නෞකා සුන්බුන් අතර සංචාරයක් සඳහා 5 දෙනකු සමඟ ගොස් උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ ටයිටන් ගිල්විය හැකි යානය (Titan submersible) සොයමින් සිටින කැනේඩියානු නිරීක්ෂණ ගුවන් යානයකට සෙවුම් ප්‍රදේශයේ දිය යටින් ශබ්ද ඇසුණු බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසයි.
පසුව ගවේෂකයන් එම ප්‍රදේශයට දිය යට රොබෝවක් ගෙන ගොස් සෙවීමට කටයුතු කළේය. කෙසේ වෙතත්, එම සෙවීම් ‘සෘණාත්මක ප්රතිඵල ලබා දී ඇත, නමුත් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක’ බව එම කන්ඩායම් පවසා තිබේ.
අතුරුදන් යාත්‍රාවේ සිටින්නේ ටයිටැනික් ගවේෂණ මෙහෙයවන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ නියමු ස්ටොක්ටන් රෂ් ය. ඔහුගේ මගීන් වන්නේ බ්‍රිතාන්‍ය වික්‍රමාන්විතයෙකු, පකිස්ථාන ව්‍යාපාරික පවුලක සාමාජිකයින් දෙදෙනෙකු සහ ටයිටැනික් විශේෂඥයෙකි.
වෙරළාරක්ෂක බලකාය කෙටි ප්‍රකාශයකින් කියා සිටියේ දුරස්ථව ක්‍රියාත්මක යානා තවමත් ටයිටන් සොයමින් සිටින බවයි.
එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිලධාරීන් සහ ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායමක් දැවැන්ත පරාසයක ජල ප්‍රදේශයක ටයිටන් සොයමින් සිටිති.
එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ගුවන් යානා මතුපිට පරිලෝකනය කරමින් සිටින අතර සෝනාර් බෝයාවන් ගැඹුරට කිඳා බසිමින් තිබේ.
අඟහරුවාදා වන විට ටයිටන් නෞකාවේ ඔක්සිජන් ඉතිරිව ඇත්තේ දින දෙකකට අඩුවෙන් යැයි සැලකේ.
පසුගිය ඉරිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදුණු ටයිටන් සංචාරක සබ්මැරීනයක් අතුරුදහන් වීමෙන් පසු මධ්‍යම අත්ලාන්තික් සාගරයේ දැවැන්ත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.
අදාළ යානය එහි කිමිදීමෙන් පැය එකයි මිනිත්තු 45කින් පමණ මව් යාත්‍රාව සමඟ ඇති සම්බන්ධය නැති වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසීය.
සංචාරක සමාගමක් වන ඕෂන්ගේට් පැවසුවේ යානයේ සිටි පුද්ගලයින් පස් දෙනා බේරා ගැනීම සඳහා සියලු විකල්ප ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
මීටර් 3,800 (අඩි 12,500) ගැඹුරකින් සුන්බුන් වෙත කිමිදීම ඇතුළුව දින අටක සංචාරයක් සඳහා ප්‍රවේශපත්‍රවල මිල ඩොලර් 250,000 (පවුම් 195,000)ක් විය.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන්ස් සිට සැතපුම් 435 (කිලෝමීටර් 700) පමණ දකුණින් පිහිටා ඇත.
අතුරුදන් වූ යාත්‍රාව ඕෂන්ගේට් සමාගමේ ටයිටන් ගිල්විය හැකි යානය, පුද්ගලයන් පස් දෙනෙකු රඳවාගෙන සාමාන්‍යයෙන් දින හතරක හදිසි ඔක්සිජන් සැපයුමක් සමඟ කිමිදෙන ට්‍රක් රථ ප්‍රමාණයේ උප යානයක් බව පැවසේ.
ටයිටන් යානයේ ගිය පුද්ගලයින් සොයා පහත යාත්‍රා සහ උපකරණ මෙහෙයුම් සඳහා යොදවා ඇත.