Home උණුසුම් පුවත් බඹරගල රජමහා විහාරයට පොලිස් වෙසින් හොරු පනී

බඹරගල රජමහා විහාරයට පොලිස් වෙසින් හොරු පනී

0
බඹරගල රජමහා විහාරයට පොලිස් වෙසින් හොරු පනී

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි කොල්ලකරුවන් පිරිසක් තෙල්දෙණියේ පිහිටි බඹරගල රජමහා විහාරයට කඩාවැදී ආවාසගෙයි දොර කඩා හිමිවරු දෙනමක් හා ඇබිත්තියාව ගැටගසා ලක්ෂ 03කට අධික මුදල් හා දේපොල කොල්ලකා තිබේ.

මෙම කොල්ලය සිදුවී ඇත්තේ පසුගිය 19 වෙනිදා අලුයම් කාලයේදීය.

කොල්ලකරුවන් ආවාසගෙයි තිබුණු රුපියල් 25,500ක මුදලක්, ජංගම දුරකථන 07ක් හා ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රය කොල්ලකා පළාගොස් තිබේ.

මෙම විහාරස්ථානයේ චෛත්‍යද පසුගිය දෙසැම්බර් 09 වෙනිදා සොරුන් විසින් හාරා නිධන් වස්තු පැහැර ගැනීමට උත්සහා දැරීමක් කර තිබුණි. ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් දෙසැම්බර් 12 වෙනිදා තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම සොරකමට නායකත්වය දී තිබුණේ මහනුවර උසාවි මුරපොලට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බව ද විමර්ශන වලින් හෙළිවී තිබුණි. ඒ අනුව පසුගිය ජනවාරි 20 වෙනිදා පොලීසිය එම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත්තේය. එම පොලිස් කොස්තාපල් ඇතුළු අත්අඩංගුවටගත් සිව් දෙනාම දිගන හා ඒ අවට පදිංචිකරුවන්ය.

විහාරාධිපතිහිමියන් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන ඔවුන් පෙර දිනයේ විහාරාධිපතිහිමියන්ව උපක්‍රම ශීලීව විහාරස්ථානයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශණ වලින් පෙනී ගොස් ඇත.

විහාරාධිපති හිමියන්ගේ කුටියේ මත්පැන් පානයකරමින් රැදී සිට පසුව චෛත්‍ය බිද ඇති බව පොලීස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

පසුගිය 19 වෙනිදා විහාරස්ථානයට කඩාවැදුණු කොල්ලකරුවන් හා මෙම සැකකරුවන් අතර යම් සම්බන්ධයක් තිබේදැයි කියා සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here