fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සම්බුදු තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පොහොය අදයි

    සම්බුදු තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පොහොය අදයි

    සම්බුදු තෙමඟුල සිහිකරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

    අප මහා බෝසතුන් වහන්සේ කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංච මහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබූහ.

    සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍ර වන බවට එහිදී සීහ නාද පැවැත්වූහ.

    ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්ම ගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතු රුක් සෙවණේ භාවනාවට සම වැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි.

    එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් වූහ.

    සියලු සංස්කාර ධර්මයන් නැසෙනසුලු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි, සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළහ.

    බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.

    එහිදී උන්වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනක ය.

    මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් වේ.

    අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරා පුද පූජා පිංකම් රැසක් සංවිධාන කර තිබේ.

    මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

    කොළඹ,හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය ඇතුළු කොළඹ නගරය පුරා වෙසක් කලාප රැසක් සංවිධානය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.