මුල් පිටුව special AI සොයාගත්තාට ගෝඩ්ෆාදර් පසුතැවෙයි – අනාගතයට අනතුරු ඇඟවීමක්

AI සොයාගත්තාට ගෝඩ්ෆාදර් පසුතැවෙයි – අනාගතයට අනතුරු ඇඟවීමක්

0

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය බිහිකිරීමේ පුරෝගාමී වූ, ‘AI හි ගොඩ් ෆාදර්’ ලෙස සැළකෙන ආචාර්ය ජෙෆ්රි හින්ටන් ඔහු විසින්ම නිර්මාණය කළ තාක්ෂණය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර ප්‍රගතිය මානව වර්ගයාට බරපතල හානියක් සිදු කරනු ඇති බවත් ඒ පිළිබඳ තමාගේ කනස්සල්ලද පළකරමිනි. AI තාක්ෂණය පිළිබඳ කනගාටු වන විශේෂඥයින්ගේ ලැයිස්තුවට සම්බන්ධ වන නවතම පුද්ගලයා ජෙෆ්රි හින්ටන් ය.

ආචාර්ය හින්ටන් දශකයකට වැඩි කාලයක් සේවය කළ Google හි රැකියාවෙන් තමා ඉවත් වූ බව ඔහු කියයි. එම ආයතනය තාක්ෂණික ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවනීය හඬක් බවට පත් වූ බැවින් ඉන් ඉවත්වීමෙන් තමාට AI හි අවදානම් ගැන දැන් නිදහසේ කතා කළ හැකි බව ඔහු කියයි. ආචාර්ය හින්ටන් අවධාරණය කරන්නේ තමා ජීවිතයේ කළ ඇතැම් ‍සොයාගැනීම් ගැන දැන් පසුතැවෙන බවයි.

අඩ සියවසක් පුරා, ජෙෆරි හින්ටන් ChatGPT වැනි යනාදී චැට්බොට් තාක්ෂණයේ කේන්ද්‍රය සැකසීය. චැට්බොට් (Chatbot) යනු අන්තර්ජාලය හරහා මිනිස් පරිශීලකයින් සමඟ සංවාද කිරීමට, සංවාද අනුකරණයට නිර්මාණය කර ඇති පරිගණක වැඩසටහනකි.

2012 දී, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෙෆ්රි හින්ටන් සහ ඔහුගේ උපාධිධාරී සිසුන් දෙදෙනෙකු විසින් A.I සඳහා පදනම බවට පත් වූ තාක්‍ෂණය නිර්මාණය කරන ලදී. මෙම සොයාගැනීම තාක්ෂණික කර්මාන්තයේ දැවැන්තම සමාගම් ඔවුන්ගේ අනාගතය සඳහා යතුරක් යැයි විශ්වාස කළේය.

කෙසේවෙතත් ආචාර්ය හින්ටන් ඊයේ දිනයේ, AI තාක්ෂණය පිළිබඳ විශේෂඥ විවේචකයන්ගේ ලැයිස්තුවට නිල වශයෙන් සම්බන්ධ වී තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ විශාල සමාගම් ආක්‍රමණශීලී ලෙස ChatGPT වැනි ජනප්‍රිය චැට්බොට් බලගන්වන තාක්‍ෂණය වන ජනක කෘතිම බුද්ධිය මත පදනම් වූ නිෂ්පාදන නිර්මාණය කරන බවත් ඒ හේතුවෙන් එම සමාගම් අනතුරක් කරා දිව යන බවයි.

“මම මාව සනසගන්නේ සාමාන්‍ය නිදහසට කාරණයක් ඉදිරිපත් කරලා. ඒක මම කළේ නැත්නම්, වෙනත් කෙනෙක් කරන්න ඉඩතිබ්බා කියලා ” ආචාර්ය හින්ටන් පසුගිය සතියේ ටොරොන්ටෝ හි ඔහුගේ නිවසේ පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ආචාර්ය හින්ටන්ගේ සොයාගැනීම්, ගෙවුණු දශක කිහිපයක් තුළ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අතිශය තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරයි. කර්මාන්තකරුවන් විශ්වාස කරන්නේ නව A.I. තාක්ෂණය 1990 ගණන්වල මුල් භාගයේ වෙබ් බ්‍රව්සරය හඳුන්වාදීම තරම්ම වැදගත් විය හැක්කක් බවයි. එය ඖෂධ පර්යේෂණයේ සිට අධ්‍යාපනය දක්වා වූ ක්ෂේත්‍රවල ඉදිරි ගමනට හේතු විය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

නමුත් තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ අභ්‍යන්තරිකයින්ගේ මතය වී ඇත්තේ මෙම තාක්ෂණය ඔස්සේ භයානක දෙයක් ලෝකයට මුදාහැරියාක් වැනි බියකි. A.I. වැරදි තොරතුරු උත්පාදනයේ මෙවලමක් විය හැකිය. එතැනින් නොනැවතී ඉක්මනින්ම, එය රැකියා සඳහා අවදානමකි. කොතැනක සිට බැලුවත්, මෙය තාක්‍ෂණයේ විශාලතම කනස්සල්ලටත්, මනුෂ්‍යත්වයටත් අවදානමක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

‘නරක මිනිස්සු මේක නරක දේට භාවිතා කරන එක කොහොමද වළක්වා ගන්නේ කියලා හිතාගන්නවත් බෑ’ ආචාර්ය හින්ටන් පැවසීය.

සැන් ෆ්රැන්සිස්කෝ හි තාක්ෂණ සමාගමක් විසින් OpenAI මාර්තු මාසයේදී ChatGPT හි නව අනුවාදයක් නිකුත් කිරීමෙන් පසුව, තාක්ෂණික නායකයින් සහ පර්යේෂකයන් 1000ක් විසින් විවෘත ලිපියක් අත්සන් කරන ලදී. ඒ එහි AI නව පද්ධති සංවර්ධනය කිරීමට මාස හයක තහනමක් ඉල්ලමිනි. AI තාක්ෂණයන් ‘සමාජයට සහ මනුෂ්‍යත්වයට ගැඹුරුතම අවදානම්’ ඇති කරන බවට ඔවුහු භීතිය පළකරති.

ඉන් දින කිහිපයකට පසු, 40-හැවිරිදි ශාස්ත්‍රීය සමාජයක් වන කෘත්‍රිම බුද්ධි ප්‍රවර්ධනය සඳහා වූ සංගමයේ වත්මන් සහ හිටපු නායකයින් 19 දෙනෙක් A.I හි අවදානම් පිළිබඳව අනතුරු අඟවන ඔවුන්ගේම ලිපියක් නිකුත් කළහ. එම කණ්ඩායමට මයික්‍රොසොෆ්ට් හි ප්‍රථම, ප්‍රධාන විද්‍යාත්මක නිලධාරි එරික් හෝර්විට්ස් ද ඇතුළත් විය. ඔහු ලෝකයේ ප්‍රමුඛ පෙලේ A.I. විශේෂඥයන්ගෙන් කෙනෙකි. OpenAI හි තාක්‍ෂණය මයික්‍රොසොෆ්ට් හි Bing සෙවුම් යන්ත්‍රය ඇතුළුව පුළුල් පරාසයක නිෂ්පාදන හරහා දැනටමත් යොදවා ඇත.

“A.I. ආයුධයක් ලෙස භාවිතා කරන නරක මිනිස්සු, තරඟකරුවන් සහ විරුද්ධවාදීන් සැමවිටම ඉඳීවි. මොකද මේ තාක්ෂණය පුදුම හිතෙන තරම් බලවත් නව හැකියාවන් සමූහයක්. ඒ වගේම අපි හිතුවට වඩා මේක වේගයෙන් යනවා.” එරික් හෝර්විට්ස් පවසයි.

‘A.I හි ගෝඩ් ෆාදර්’ ලෙස හඳුන්වන ආචාර්ය හින්ටන් ඉහත ලිපි දෙකටම අත්සන් නොකළ අතර ඔහු තමා රැකියාවෙන් ඉවත් වන තුරු ගූගල් හෝ වෙනත් සමාගම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අවශ්‍ය නැති බව පැවසීම ඊට හේතුවයි. ඔහු ඉල්ලා අස්වන බව පසුගිය මාසයේ සමාගමට දැනුම් දුන් අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔහු Google හි මව් සමාගම වන Alphabet හි ප්‍රධාන විධායක සුන්දර් පිච්චෙයි සමඟ දුරකථනයෙන් කතා කළේය. ඔහු පිච්චෙයි මහතා සමඟ කළ සංවාදයේ විස්තර ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළේය.

1980 දශකයේදී ආචාර්ය හින්ටන් කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු විය. නමුත් ඔහු අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයේ අරමුදල් ගැනීමට අකමැති බව පැවසීම නිසා විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව කැනඩාවට ගියේය. එකල අමෙරිකාවේ සිදුවන බොහෝ A.I. පර්යේෂණ සඳහා අරමුදල් සපයන ලද්දේ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිනි. ආචාර්ය යුධ පිටියේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට දැඩි ලෙස විරුද්ධ වූවෙකි. ඔහු එය හඳුන්වන්නේ ‘රොබෝ සොල්දාදුවන්’ ලෙසයි.

AI ගොඩ්ෆාදර් හෙවත් ආචාර්ය හින්ටන්ගේ ක්ෂණික කනස්සල්ල වන්නේ අන්තර්ජාලයේ අසත්‍ය ඡායාරූප, වීඩියෝ සහ සටහන්වලින් පිරී යනු ඇති අතර සාමාන්‍ය පුද්ගලයෙකුට “තවදුරටත් සත්‍ය කුමක්දැයි දැන ගැනීමට නොහැකි වනු ඇත.” යන්න පිළිබඳවයි. එමෙන්ම නුදුරු අනාගතයේ බොහොමයක් රැකියාවලට මෙම තාක්ෂණය යොදාගැනීමෙන් සේවය දෙන්නාට හෝ ලබන්නාට කිසිසේත් ‘හිතන තරම් හැමදේම හොඳ වෙන්නේ නම් නෑ’ යන්න ඔහුගේ අදහසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version