තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හම්බාකෙටීමේ පුරාණ චාරිත්‍රය නුගලියද්දේ දී..

    හම්බාකෙටීමේ පුරාණ චාරිත්‍රය නුගලියද්දේ දී..

    ඓතිහාසික සගම රජමහ විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන කිරිබඩ පාත්‍ර පූජාව සඳහා වී කෙටීම නොහොත් හම්බකෙටීමේ මංගල්‍යය අද (28) පෙරවරුවේ පාතහේවාහැට නුගලියද්ද ධර්මශාලාවේදී පැවැත්විණි.

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේ හා ශ්‍රී සුමන සමන් දෙවියන් වෙනුවෙන් මෙම පූජාව වාර්ෂිකව පවත්වනු ලබයි.

    නුගලියද්ද, කපුලියද්ද, බූටාවත්ත සහ ගොඩමුන්න යන ගම්වාසීන්ගේ සංවිධානත්වයෙන් එය පැවැත්වේ.

    මහ කන්නයේ අස්වනු නෙළන මුල් අවස්ථාවේදී මෙම මංගල්‍ය වෙනුවෙන් වී අස්වැන්න කමතේදීම වෙන් කෙරේ.

    එම අස්වනු නියමිත ප්‍රමාණය අනුව ධර්මශාලාව වෙත භාරදීම පුරාතනයේ සිට සිදුවන්නකි.

    වී, සහල් සහ පොල් පූජා කිරීම මෙහිදී සිදුවන අතර බුදුන් වහන්සේ හා සුමන සමන් දෙවියන් වෙනුවෙන් කිරිබඩ ආහාර පූජා කිරීම නිමිත්තෙන් මෙම මංගල්‍ය සියවස් ගණනාවක් තිස්සේ ගම්වාසීන් විසින් සිදුකරති.

    දෙවියන් හා බුදුන්ගේ දානය සඳහා සිදුවන හම්බකෙටීමේ චාරිත්‍රය පිරිමි පාර්ශවය පමණක් සිදුකිරීම පුරාතනයේ සිට සිදුවන අතර වී පෙළීම සඳහා කිල්ලට හසු නොවුණු ස්ත්‍රී පාර්ශවයට සහභාගීවිය හැකි බවට ගම්වාසින් අතර පවතින මතය හේතුවෙන් එවන් කාන්තාවන් පමණක් ඊට සහභාගීවේ.

    වී කොටා සහල්බවට පත් කර ගැනීමෙන් පසු බූටාවත්ත හා නුගලියද්ද ගම්වාසීන් දන්කැත් මාරුව සිදුකිරීම ද එවැනි චාරිත්‍රයකි.

    ගම්වාසීන් දානය වෙනුවෙන් සූදානම් කර ගත් සහල්, පොල්, පොල්තෙල්, පැණි බෝතලයක් සහ මාළු කෙසෙල් කැනක් සහිත කදක් අනෙක් ගමට භාර දෙන දෙන අතර අනෙක් ගම්වාසීන් ද තමන් දානයට සූදානම් කර ගත් දෑ ඒ අයුරින් හුවමාරුකර ගනිති.

    දන්කැත් මාරුවෙන් පසුව පසුදින බුදුන් හා දෙවියන් වෙනුවෙන් මහත් භක්තියෙන් පිළියල කරන ලද දානය මහ පෙරහැරින් සගම රජමහ විහාරයේදී පූජා කිරීම ද මෙහිදී සිදුවේ.

    සගම රජමහ විහාරාධිපති පූජ්‍ය නාපාන සද්ධර්මකීර්ති සරණංකර විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි නුගලියද්ද, කපුලියද්ද, බූටාවත්ත සහ ගොඩමුන්න ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් හම්බකෙටීමේ පුරාණ චාරිත්‍රය අද දින පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img