fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්72 වසරකට පසු අලුත් වූ ප්‍රභාත් ජයසූරියගේ ලෝක වාර්තාව

    72 වසරකට පසු අලුත් වූ ප්‍රභාත් ජයසූරියගේ ලෝක වාර්තාව

    අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නා බවට පත්විමේ ලෝක වාර්තාවට හිමිකම් කීමට ශ්‍රි ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද(28) සමත්විය. ඒ සමඟම ඔහු ලොව දෙවැනි වේගවත්ම කඩුලු 50 කඩඉම පසුකළ ටෙස්ට් ක්‍රිඩකයා බවට පත් වූයේය.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අයර්ලන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලිංග් ගේ කඩුල්ල දවාගනිමින් ප්‍රභාත් ජයසූරිය මෙම දස්කම දැක්වුයේය.

    ඒ අනුව සිය හත්වැනි ටෙස්ට් තරගයේ දි පළමු ටෙස්ට් කඩුලු 50 ලබා ගැනිමට ප්‍රභාත් ජයසූරිය සමත්ව සිටියි. ලොව අඩුව ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 දවාගත් ක්‍රීඩකයන් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ 1888 අගෝස්තු 30 වැනිදා සිය 6වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 50 සම්පූර්ණ කළ ඔස්ට්‍රේලියාවේ සී.ටී.බි ටර්නර් (චාලි ටර්නර්) ය. එංගන්තය සමග මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ පැවැති තරගයක දි එහු මෙම ඉලක්කය සපුරා ගත්තේය.

    ප්‍රභාත් ජයසූරියට අමතරව තරග 7කින් ටෙස්ට් කඩුලු 50 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ එංගලන්ත ක්‍රීඩක ටි රිචඩ්සන් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක වි.ඩී පිලැන්ඩර්ය. පිළිවෙලින් 1896 හා 2012 දි ඔවුන් මෙම දස්කම් දක්වා තිබිණි.

    දඟ පන්දුවෙන් මෙම දස්කම අඩුම තරග සංඛ්‍යාවක දී මෙයට පෙර වාර්තා කර තිබුණේ ඉටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් ය. 1951 දෙසැම්බර් 31 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැති සිය 8වැනි ටෙස්ට් තරගයේ දී ඔහු කඩුලු 50 ඉලක්කයට ළඟා වී තිබිණි. ඒ අනුව ප්‍රභාත් ඇල්ෆ් තබා තිබූ වාර්තාව බිඳ දැමුවේ වසර 72කට පසුවය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.