උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී තිබේ.
පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.
අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට ජනාධිපතිවරයා උපදෙස් දුනි.
වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.
උසස් පෙළ සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දුන්නේය.
වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.
එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.