තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උත්තමාචාර -වෙඩිමුර - පෙළපාලි නැතිව පාර්ලිමේන්තුවේ අලුත් සභාවාරය ඇරඹේ

    උත්තමාචාර -වෙඩිමුර – පෙළපාලි නැතිව පාර්ලිමේන්තුවේ අලුත් සභාවාරය ඇරඹේ

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද(08) වැනිදා විවෘත කිරීමට නියමිතය.

    සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අද පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇත.

    ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසල දී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ආශිර්වාද එක් කිරීමට නියමිතය.

    අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව 9.55 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ.

    සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් හඩනගා නිවේදනය කරන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායනුකූලව සිදුවේ.

    සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ.

    අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, හෙට(09 වැනිදා) පෙ.ව 9.30 දක්වා සභාව කල් තැබීමට නියමිතය.

    ඉන් පසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරු, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img