75 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ.
‘නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්’ තේමාව යටතේ මෙවර ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.
නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
නිදහස් දින සමරු උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
ඒ අතර පාපැදි සවාරිය, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංගයන් ය.
එමෙන්ම නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.
පෙබරවාරි 4 සහ 5 දෙදින එනම් අද සහ හෙට මෙරට ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරෙනු ඇත.
නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කර ඇත.
මේ හා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධානය කර ඇත.
හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපන වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වෙනු ඇත.
එමෙන්ම නිදහස් සැමරුම් දින දිවයිනේ සියලු රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලිවල ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇත.