මුල් පිටුව උණුසුම් පුවත් “බඹරගස්තලාව වන සෙනසුනේ භාවනායෝගී හිමිවරුන්ට බාධා කරන්න එපා” -ඇමතිනි පවිත්‍රා

“බඹරගස්තලාව වන සෙනසුනේ භාවනායෝගී හිමිවරුන්ට බාධා කරන්න එපා” -ඇමතිනි පවිත්‍රා

0

ඓතිහාසික කුඩම්බිගල තපෝවනයට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි, ඓතිහාසික බඹරගස්තලාව වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බාධා නොකරන ලෙස, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනි, පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදි ය.

කෙසේ වෙතත්, වනජීවී දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය පවතින මෙම වනාන්තරය තුළ මීට අමතරව ගිහි ජනතාව සමග මානව ක්‍රියාකාරකම් සිදු නොකළ යුතු බවද ඇය සඳහන් කළාය.

අභිනව  වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනිය වැඩිදුරටත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ, රටේ ඕනෑම වනාන්තරයක භාවනානුයෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ඇති නිසා ඊට බාධා නොකරන ලෙසය.

පානම කුඩම්බිගල මහා තපෝවන ආරණ්‍ය සේනාසනාධිපති/ අනුශාසක පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව ඊයේ(24) දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

උන් වහන්සේ ඉල්ලා තිබුණේ අතීතයේ මෙන් නැවත වතාවක් මෙම බඹරගස්තලාව සේනාසනය ගෞරවනීය මහා සංඝරත්නයේ පරිහරණයට ලබාදීම සඳහා මැදිහත් වන ලෙසය.

සාකච්ඡාවට එක්වූ පූජ්‍ය පැලවත්තේ බුද්ධවංස ස්වාමීන් වහන්සේ පැවසුවේ, මේ වනවිට නිධන් හොරුන්ගෙන් සිතඟය පිරිදි ඔවුන්ගේ අණසක පතුරුවමින් මෙම ඓතිහාසික පුදබිම විනාශ කරමින් එහි තිබෙන ඉතා‍ වටිනා වස්තූන් පැහැරගැනීම සිදුවෙමින් පවතින බවය.

පුදබිමේ භාවනායෝගීව වැඩසිටීමට ස්වාමීන් වහන්සේලාට අවසර දෙනවා සේම එහි සිදුවන පුරාවිද්‍යා ස්ථාන විනාශය පිළිබඳවද අවධානය යොමුකරන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු නිදහසේ කරගැනීම සඳහා අවස්ථාව සලසා දීමට  සහ බෞද්ධ උරුමය රැකගැනීමට රජයේ මැදිහත්වීම උපරිමව ලබාදෙන බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version