තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CIDයට භාරවෙයි - වෘෂණ කෝෂ කථාව බොරුවක්

    වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CIDයට භාරවෙයි – වෘෂණ කෝෂ කථාව බොරුවක්

    දිළිදු ජනතාව රවටා නීතිවිරෝධි ලෙස බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ සවස පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන මෝදර කජීමාවත්තේ පදිංචිකරුවෙකි. බායි නැමැති මෙම පුද්ගලයා රෝහල සහ වකුගඩුදායකින් අතර සම්බන්ධීකරණය කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    මෙම ජාවාරමට සම්බන්ධ සඳුන් නැමැති තැරැව්කරු අත්අඩංගුවට ගැනීමටද මේ වනවිට විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

    වකුගඩුදායකින් සොයා දීම වෙනුවට මේ අයට ලැබෙන මුදල්වලට අමතරව වකුගඩු පරිත්‍යාග කිරීම් වෙනුවෙන් වකුගඩු දායකයන්ට ලැබෙන මුදල්වලින්ද මෙම තැරැව්කරුවන් මුදල් ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම ජාවාරමට බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයෙකුද සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    වකුගඩු ජාවාම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයෙකුගේ සහෝදරයෙක් විසින් බායි නැමැති තැරැව්කරුවා තමාගේ වම් වෘෂණ කෝෂය රුපියල් ලක්ෂ 70 කට ඉල්ලා සිටි බව කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ සඳහන්කර තිබේ.

    ඒ හැරුණු කොට වෘෂණ කෝෂ ජාවාරමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් නොපවත්වන බවත් එවැනි ජාවාරමක් ගැන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img