මුල් පිටුව special ලොව දිගම මගී දුම්රිය දර්ශනීය ඇල්ප්ස් කඳු හරහා ගමනේ

ලොව දිගම මගී දුම්රිය දර්ශනීය ඇල්ප්ස් කඳු හරහා ගමනේ

0
  • කෝච්චියේ දිග කිලෝමීටර් 2යි
  • මැදිරි 100යි
  • රියදුරන් 7ක්
  • ආසන 4500ක්

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති ඉතා දර්ශනීය දුම්රිය මාර්ගයක් හරහා ලොව දිගම මගී දුම්රිය ධාවනය කිරීමේ වාර්තාවට පසුගිය සෙනුසාරාදා හිමිකම් කී බව එරට රේෂන් දුම්රිය සමාගම පවසයි.

ප්‍රේඩා සිට බර්ගන් දක්වා ඇල්බුලා-බර්නිනා මාර්ගය ඔස්සේ මැදිරි 100කින් සමන්විත කිලෝමීටර් 1.9ක් දිග දුම්රියක් මෙලෙස ධාවනය කර තිබේ. දුම්රිය ආසන සංඛ්‍යාව 4,550කි.

දුම්රියේ සන්නිවේදනය තීරණාත්මක නමුත් දුෂ්කර ය. කිලෝමීටර් 2ක් පමණ දිග ක්ෂේත්‍ර දුරකථනයක් ස්ථාපිත කර ඇත.

දුම්රිය රියදුරන් 7 දෙනෙකු සහ කාර්මික ශිල්පීන් 21 දෙනෙකු දුම්රියේ කටයුතු සුමටව පවත්වාගෙන යාමට දුම්රිය තුළ සූදානම් ය.

මෙම මාර්ගය 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දකි.

එය උමං මාර්ග 22 ක් හරහා ගමන් කරයි.

මෙම දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථාන කඳු හරහා සර්පිලාකාරව ගමන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම වැනි ලැන්ඩ්වාසර්වියර්ඩක්ට් ආරුක්කු පාලම ද ඇතුළුව පාලම් 48 ක් හරහා ගමන් කරයි.

මුළු ගමනටම පැයකට වඩා ගතවේ. ඇල්ප්ස් කඳුවැටිය හරහා ගමන් කරන මෙම දුම්රියේ නැරඹීමට දුම්රිය ලෝලීන් මිටියාවත පුරා පෙළ ගැසී සිටියහ.

‘අපේ ස්විට්සර්ලන්ත දුම්රිය සේවය වසර 175ක සංවත්සරය සමරනවා. මෙම ලෝක වාර්තාගත උත්සාහය මෙම ජුබිලියේ එක් වැදගත් සන්ධිස්ථානයක්’ යනුවෙන් රේෂන් දුම්රිය ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රෙනාටෝ ෆැසියාටි පැහැදිලි කළේය.

කෙසේවෙතත් මෙම දිගම දුම්රිය ධාවනය කිරීමේ සැබෑම හේතුව එය නොවේ.

“නමුත් ඇත්ත වශයෙන්ම, හේතුව වූයේ කොරෝනා අර්බුදයේදී (COVID-19 වසංගතය) අපට යම් කරදර ඇති වූ නිසා දුම්රියේ අමුත්තන් රැගෙන යාමේදී අපගේ පිරිවැටුමෙන් 30% ක් අහිමි වුණා. ඒ නිසා අපි යළිත් අප‍ගේ දුම්රිය සේවය යථාතත්වයට පත්කරගන්න දැනුවත් කිරීම සඳහා වඩාත් හොඳ සිදුවීමක් සොයා ගැනීමට උත්සාහ කළා. අපගේ සුන්දර යුනෙස්කෝ ලෝක උරුමයක් වූ මේ දර්ශනීය මාර්ගය දිගේ දිගම දුම්රිය ධාවනය කරමින් එම දැනුවත් කිරීම කරන්න ඕන කියා අප හිතුවා. ඉතින් මේ ලෝක වාර්තාගත උත්සාහය මේ සුන්දර දුම්රිය මාර්ගය ලෝකයට පෙන්වන්නයි” යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version