මුල් පිටුව විදේශීය පුවත් GOSSIP ටික්ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි

ටික්ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි

ඉරාකයේ සමාජ මාධ්‍ය තරුවක් වන ඕම් ෆහාඩ් බැග්ඩෑඩ් හි ඇගේ නිවසින් පිටතදී වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර සයින්හිදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත් කාන්තාවක් නාඳුනන ප්‍රහාරකයන් විසින් ඝාතනය කර ඇති බවයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කාර්ය කණ්ඩායමක් පිහිටුවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ටික්ටොක් සමාජ ජාලයේ ඕම් ෆහාඩ් ලෙස ප්‍රකට වුවත් ඇයගේ සැබෑ නම වන්නේ ගුෆරාන් සවාඩි ය.

ඇය සිටි මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුවක් අතැති තනි පුද්ගලයකු විසින් බව වාර්තා වේ.

ඉරාක තොරතුරුවලට අනුව ප්‍රහාරකයා ආහාර බෙදාහරින්නකු ලෙස පෙනී සිට ඇත.

මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

ඉරාකයේ ජීවත් වන කාන්තාවක් වන ඇය, ශරීරයේ හැඩය ඉස්මතු වන ආකාරයේ ඇඳුම් ඇඳ පොප් සංගීතයට නටන වීඩියෝ මුදාහැරීමෙන් ටික්ටොක් සමාජ ජාලයේ දහස් ගණනක පසුහඹන්නන් (followers) අතර ජනප්‍රියත්වයට පත්ව සිටී.

‘විනීතභාවය සහ පොදු සදාචාරය’ හෑල්ලූවට ලක්කරන ‘අශෝභන’ ලෙස සැලකෙන අන්තර්ගතයන් ඇතුළත් වීඩියෝ දර්ශන බෙදාහැරි බවට තීන්දු කරමින් අධිකරණය විසින් ඇයට පසුගිය වසරේ මාස හයක සිර දඬුවමක් නියම කරන ලදී.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පිළිකුල් සහගත යැයි හැඟෙන අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීම සහ ඊට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම සඳහා රජයේ කමිටුවක් ස්ථාපනය කිරීමට ඉරාක රජය මෑතකාලීනව ගනු ලැබූ පියවරකින් පසුව මෙම නීති ක්‍රියාත්මක වී ඇත.

ස්වාධීන යුරෝපා-මධ්‍යධරණී මානව හිමිකම් නිරීක්ෂකය එකල පවසා තිබුණේ ඉරාක බලධාරීන් විසින් ස්වභාවික අයිතිවාසිකම් සීමාකරමින්, සාධාරණ නොවන, නොපැහැදිලි චෝදනා මත සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාපකයින් (digital creators) කිහිප දෙනෙකු රඳවා තබා ගැනීම සහ වරදකරුවන් කිරීම අවධානය යොමුකළ යුත්තක් බවයි.

මෑතක දී, ෆාහාඩ් සහ එරට තවත් සමාජ මාධ්‍ය තරුවක් ඩාලියා නයීම් අතර ප්‍රසිද්ධියේ ආරවුලක් ඇතිවී තිබේ.

රුව වඩවා ගැනීම සඳහා බොහෝ ප්ලාස්ටික් සැත්කම් කර ඇති බව කියන නයීම් ‘ඉරාකයේ බාර්බි’ ලෙස හඳුන්වයි.

නයීම් විසින් ඕම් ෆාහඩ් වෙත තර්ජනය කරමින් සිට ඇත්තේ ඉරාක ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ෆාහඩ්ගේ ඇති සම්බන්ධය හෙළි කරන බවට ය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version