මුල් පිටුව උණුසුම් පුවත් ‘දොස්තරලාට දෙනවා නම් අපිටත් ඕනෑ’ – සෞඛ්‍ය වෘත්තිය සමිති 20ක් ජනපතිට කියයි

‘දොස්තරලාට දෙනවා නම් අපිටත් ඕනෑ’ – සෞඛ්‍ය වෘත්තිය සමිති 20ක් ජනපතිට කියයි

0

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60 ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තින්ට ද සමව ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති 20කින් සැදුම් ලත් සෞඛ්‍ය වෘතීයවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

වෛද්‍යවරුන්ට පමණක් එම වරප්‍රසාදය ලබා දුනහොත් ඊට විරෝධය දක්වමින් අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවක් මගින් ලබාදීමට නියමිත පක්ෂග්‍රාහී තීන්දුවක් මත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා අසාධාරණ බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති විස්සක නායකයින් එම ලිපියට අත්සන් තබා තිබේ.

රජයේ විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය නිසා දෙසැම්බර් මස 31 වන දින වන විට විශේෂඥ වෛද්යවරුන් 249 දෙනෙකු එකවර විශ්‍රාම යෑම සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් නොවන බවට තවත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කරන ප්‍රකාශය ඉතා බරපතළ වැරදි සහගත එකක් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විදේශ පුහුණුව නිම කර ලබන වසරේදී ලංකාවට විශේෂඥ වෛද්යවරුන් 299 දෙනෙකු පැමිණෙන බවත් ඔවුන්ගෙන් අදාල පුරප්පාඩු සකසාගත හැකි බවත් එම පිරිස තර්ක කරමින් සිටින නමුත් හේතු ගණනාවක් නිසා එය පිළිගත නොහැකි බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

විදේශ පුහුණුවට ගොස් සිටින වෛද්‍යවරුන් සියලු දෙනාම එකවර ලංකාවට නොපැමිනෙන අතර ඔවුන්ගේ පැමිණීම වසර පුරාම සිදුවන්නේ යැයිද ඔහු සඳහන් කරයි.

තවද ඇතැම් විශේෂඥ වෛද්යවරුන් පුහුණුව ලබමින් සිටින රටවල ම නතර වන අතර තවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ලංකාවට පැමිණ පසුව විදේශගත වීමට යන බවද ඔහු සඳහන් කරයි.

එම නිසා එකවර විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනෙකු විශ්‍රාම යාම සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් සිදුවන බවද හෙතෙම සඳහන් කරයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version