මාධ්‍ය කෙතරම් පොලිසියට චෝදනා කළ ද තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන්නා යැයි පැවසුවා ද, එම කණ්ඩායම් දෙක අතර ඇති මිත්‍රත්වය අද තමන්ට දක්නට ලැබුණු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද ( 03 ) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.
පොලිස් උත්තමාචාර පිළිගන්වමින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් “ ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනැමීම සහ පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අගයමින් සංකේතාත්මකව නිලධාරීන් 30 දෙනෙකු සඳහා ප්‍රණාම සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
පොලිස් වෙබ් අඩවිය සහ “ ඊ නිවුස්” පුවත්පත එළිදැක්වීම ද සිදු කෙරුණු අතර පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 100ක මුදලක් අභිනවයෙන් ස්ථාපනය කෙරෙන “නීති සහන අරමුදල ” සඳහා පිරිනමමින් අදාළ චෙක්පත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
පොලිස් බටහිර තූර්ය වාදන සංදර්ශනයකින් සහ නිළ සුනඛ සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බවයි.
එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රට ආර්ථීක වශයෙන් ගොඩගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතු බවයි. එදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් රටේ ප්‍රජාතන්තවාදය අවසන් වනවා සේම නීතියේ ආධිපත්‍යය ද උල්ලංඝනය වන බව ජනාධිපතිවරයා පැවසීය.
එම අවස්ථාවේ නීතියේ ආධිපත්‍යයත්, ව්‍යවස්ථාවත් ආරක්ෂා කළේ පොලිසිය බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද පැවසීය.
එහිදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පහතින්.