Home දේශීය පුවත් මාස තුනට පාතාලයේ ඝාතන 30 යි – 18ක් බස්නාහිර – 12ක් දකුණේ

මාස තුනට පාතාලයේ ඝාතන 30 යි – 18ක් බස්නාහිර – 12ක් දකුණේ

0
මාස තුනට පාතාලයේ ඝාතන 30 යි – 18ක් බස්නාහිර – 12ක් දකුණේ

ගෙවී ගිය මාස තුනක කාලය ඇතුලත සිදුවූ පාතාලයේ ඝාතන 30 ම සිදුව ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රීතවය.

එම ඝාතනවලින් 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළ වන අතර දකුණු පළාත තුළ සිදුව ඇත්තේ ඝාතන 12ක් පමණි.

දකුණු පළාතේ සිදුව ඇති ඝාතන අතරින් එක් ඝාතනයක් හැරුණු කොට සෙසු ඝාතන 11ම සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කය තුළය. එයින්ද ඝාතන 06ක් සිදුව ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් වසම තුලදීය.

සෙසු ඝාතන බෙදී ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය, අහංගම සහ රත්ගම යන පොලිස් වසම් අතරය.

දකුණු පළාතේ සෙසු ඝාතනය සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළය. තංගල්ල මොරකැටි ආරේදී සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවද මේ වන විට අත්අඩංගුවට ගෙන හමාරය. ඒ හැරුණු කොට අම්බලන්ගොඩ සිදුවූ එක් ඝාතනයක් පොලීසිය විසදා ඇත්තේ ඝාතකයින් සහ ගිනි අවියද සමඟ අල්ලා අධිකරණයට ඉදිරිපත් කරමිනි.

ඒ අනුව දකුණු පළාත තුළ සිදුවූ ඝාතන 12න් 10කම අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

බස්නාහිර පළාතේ සිදුව ඇති පාතාල ඝාතන 18න් හරි අඩක්ම සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. බැස්ටියන් මාවතේ දී මැයි 30 වෙනිදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ගම්පහ බෙම්මුල්ලේදී පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්විය. ඒ හැරුණු කොට බස්නාහිර පළාතේ සිදුවූ මෙම පාතාල වෙඩි තැබීම්වල කිසිදු ඝාතකයෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත.

බස්නාහිර පළාත තුළ සිදුවී ඇති ඝාතන 18න් සෙසු ඝාතන 09 බෙදී ගොස් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඝාතන 07ක් සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ඝාතන 02ක් ලෙසිණි.

මෙම පළාත් දෙක ගත් කළ මෙම ඝාතන රැල්ලේ කිසිදු පාතාල ඝාතනයක් සිදුව නැත්තේ මාතර දිස්ත්‍රික්කය තුළ පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here