තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව දීමට අදාළ සිද්ධියක් ගැන මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි

    රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව දීමට අදාළ සිද්ධියක් ගැන මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි

    හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (18) පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    ඒ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති 19 වියැති තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය ගෙවාදමමින් සිටි ජූඩ් ශාමන් ඇන්තනී ජයමහ නැමැති සිරකරු ජනපති පොදු සමාවක් දී නිදහස් කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව ය.

    හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් කළ පැමිණිලි දෙකක් මුල්කරගෙන මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකර ඇත.

    අතුරලියේ රතන හිමි විසින් කළ පැමිණිල්ලට මුල් වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකදී රෝයල්පාක් නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනී ජයමහ නිදහස් කිරීමට මුදල් ලබාගැනීමක් යම් පාර්ශවයක් විසින් කර ඇති බවට තමාට වාර්තා වූ බවත් ඒ ගැන බුද්ධි අංශයෙන් වාර්තාවක් කැදවීමේදී එමගින්ද තහවුරු වූ බවට කී ප්‍රකාශයයි.

    එම රූපවාහිනී වැඩසටහනේදී අතුරලියේ රතන හිමියන් ගැනද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි.

    ඒ පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණිල්ලක් යොමුකර තිබුණි.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින නිවසේදීය.

    රෝයල් පාක් ඝාතනය සිදුවන්නේ 2005 වසරේ ජුනි 20 වෙනිදාය. 19 හැවිරදි ඉවෝන් ජොන්සන් නැමැති ස්විස් ජාතික තරුණියට පහරදී ගෙල සිරකර බිත්තියේ හිස තදින් ගැටීමට සලස්වා මරා දමා තිබුණි.

    ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් පසු කොළඹ මහාධිකරණය විසින් සැකකාර ජූඩ් ශාමන් ඇන්තනී ජයමහාට වසර 12ක් බරපතල වැඩ ඇතිව සිරදඩුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම කරනු ලැබීය.

    එම දඩුවමට එරෙහිව ඔහු අභියාචනාධිකරණය පෙත්සමක් ගොනු කරනු ලැබීය. එහි තීන්දුව 2012 වසරේ ජූලි 11 වෙනිදා ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය මරණීය දඩුවම නියම කරනු ලැබීය.

    අනතුරුව අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. 2014 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව තහවුරුකිරීමත් සමඟ ජූඩ් ශාමන් ඇන්තනීට එරෙහිව ලබාදුන් මරණ දඩුවම තහවුරු විය.

    නමුත් 2016 වසරේදී ජනපති සමාවක් යටතේ මරණිය දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් ලෙස වී 2019 වසරේදී ඔහු ජනාධිපති සමාවකින් නිදහස ලැබීය.

    එසේ නිදහස ලැබීමත් සමඟ ඔහු රටින්ට පිටව ගියේය. මේ වන විට ඔහු සොයා ගැනීමටද නොහැකිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම ඝාතනයත් ඊට අදාළ නඩු තීන්දුවක් එකල සමාජය තුළ මහත් කතාබහට ලක්වූවක් විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img