ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL- 504 ගුවන් යානය තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ගුවනේ මධ්‍යම මට්ටමේදී ගැටී සිදුවිය හැකි විශාලතම අනතුරක් වළක්වා ගනිමින් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් යානය මගීන් 275 ක් රැගෙන පියාසර කරමින් සිට ඇත.
ගුවන් යානය හීතෘ ගුවන්තොටින් පිටත්ව තුර්කි ගුවන් සීමාවට පැමිණි පසුව අන්කාරා හි පාලක මැදිරිය ශ්‍රී ලංකන් ගුවන් නියමුවාට දන්වා ඇත්තේ අඩි 33000 සිට 35000 දක්වා ඉහළ සීමාවට පියාසර කරන ලෙසයි.
එහිදී අඩි 35000 සීමාවේ ගුවන් සැතපුම් පහළොවක් පමණ දුරින් british airways ගුවන් යානයක් දැනටමත් ගමන් කරමින් ඇති බවට UL ගුවන් නියමුවාට වහාම හඳුනාගන්නට හැකි වී තිබේ.
ඒ අනුව ගුවන් නියමුවන් අන්කාරා හි පාලක මැදිරියට දන්වා ඇත්තේ දැනටමත් එම සීමාවේ ගුවන් යානයක් ගමන් ගනිමින් සිටින බවයි.
පාලක මැදිරියේ දැනුම්දීමට අනුව ඉහත අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවා තම යානය එම ඉහළට පියාසර කරවූයේ නම් මධ්‍යම ගුවන් තලයේ මෙම යානා දෙක ගැටී දැවැන්ත අනතුරක් සිදුවීමට ඉඩ තිබුණි.
british airways ගුවන්යානය හීතෘ ගුවන්තොටුපලින් ඩුබායි බලා නික්ම තිබුණේ සිංගප්පූරුව බලා යාමට වන අතර එම යානය ගුවන්ගත කර තිබුණේ UL යානය ගුවන් ගත කිරීමෙන් මඳකට පසුවයි. ඒ ශ්‍රී ලංකන් ගුවන් යානයට වඩා වැඩි වේගයකිනි.
පිටත්වීමේදී අන්කාරා ගුවන් පාලක මැදිරිය UL යානයට දැනුම් දී තිබුණේ අඩි 35000 සීමාව කිසිදු ගුවන් යානයක් තම රේඩාර් පද්ධතියට හසු නොවන බවත් ඒ මට්ටමේ ගමන් කළ හැකි බවත් ය.
කෙසේ වෙතත් UL යානයේ නියමුවන්ගේ අවධානයට ලක් වූ british airways යානය නිසා එම මට්ටමට පියාසර නොකොට, අන්කාරා හි පාලක මැදිරිය යළිත් පරීක්ෂාකර බලා දැනුම් දෙන තෙක් තම යානයේ මගීන් 275 ඇතුළු කාර්ය මණ්ඩලය ද ආරක්ෂා කරගනිමින් පහළ මට්ටමක පියාසර කර ඇති බව දැන ගන්නට තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් යානයේ නියමුවන්ගේ වැඩි අවධානයත් ප්‍රධාන නියමුවාගේ ක්ෂණික සහ අවස්ථානුකූලව ගත් දැඩි තීරණය මගින් ආරක්ෂා වූයේ ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ ජීවිත සහ ගුවන් යානය පමණක් නොව, බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානය සහ එහි සියලු මගීන්ගේ ද ජීවිත සහ එම ගුවන් යානය ද මෙමගින් ආරක්ෂා විය.